‘සෑම කෙනකුටම නිවසක්’ යන්න සත්‍යයක් කිරීම අපේ බලාපොරොත්තුවයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

‘සෑම කෙනකුටම නිවසක්’ යන්න සත්‍යයක් කිරීම අපේ බලාපොරොත්තුවයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

නිවාස තනා ගම දියුණු කරමින්, අනාගතයට මුහුණ දෙමින් ‘සෑම කෙනකුටම නිවසක්’ යන වචන කිහිපය සත්‍යයක් බවට පත් කළ යුතු බවත් දියුණු රටක් තැනීම අපේ කාර්යභාරය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (23) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් 2019 ජුනි මස 23 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“රණසිංහ ප්‍රේමදාස මැතිතුමා "උදාගමින් උදාගමට" ගම්බිම් ව්‍යාපෘතිය ආරම්භ කළා. ඊට පෙර එවැනි වැඩ කටයුතු සිදුකර තිබුණේ නැහැ. එදා බලයට පැමිණ, ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමෙන් පසු අපට බලාපොරොත්තු දෙකක් තිබුණා. ඒ හිසට නිවහනක් සහ දරුවන්ට අධ්‍යාපනය කියන බලාපොරොත්තු දෙකයි. එම බලාපොරොත්තු ඉටුකර දීම වෙනුවෙන් අපි කැපවුණා. නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා රටේ පාසල් ක්‍රමය දියුණු කළ යුතුව තිබුණා. එවකට රටේ නිවාසවලින් බහුතරයක් තිබුණේ මැටිවලින් තැනූ පොල්අතු සෙවිලි කළ නිවාසයි. විදුලි ආලෝකය දැකලවත් නැති අය සිටියා. ජලය ලබා ගැනීමට සැතපුම් ගණන් යායුතුව තිබුණා. වැසිකිලි පහසුකම් තිබුණෙත් නෑ. 1977දී එවැනි දුෂ්කර රටක් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බාර ගත්තා. එතුමා 1978 යාපහුව කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන කටයුතු ඇරඹුවා. ඒ තුළින් ගම් උදාව වැඩසටහන බිහි වුණා. ඒ උදාගම් ව්‍යාපාරයේ පෙර ගමන්කරු වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමඟ වැඩ කළ බොහෝ දෙනෙක් අද මෙතැන සිටිනවා. පාස්කරලිංගම්, අබේසිංහ, කලංසූරිය සහ අයිලප්පෙරුම යන මහත්වරු ඇතුළු බොහෝ දෙනෙක් ඒ අතර වෙනවා.

“මෙලෙස ඇරඹූ නිවාස වැඩපිළිවෙළ යටතේ මුලින්ම නිවාස ලක්ෂයක් ඉදිකළා. ඉන්පසු ලක්ෂ 10ක් ඉදිකළා. මුළු රටම එම ව්‍යාපෘතියට එකතු වුණා. පුද්ගලික අංශයද ඒ සඳහා මුදල් යෙදෙව්වා. පන්සල් පල්ලිවලින් ඉඩම් ලබා දුන්නා. එසේම මට මතකයි එකල රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් නිවිතිගල නිවසක් හදන බව මා සමඟ පැවසුවා. එහි ගම්මානයක් සකස් කළා. අනෙකුත් ප්‍රධාන පාසල්ද ඊට සහාය ලබා දුන්නා. මම වල්ගම උදාගම්මානය ඉදිකරන විට එහි මහා විද්‍යාලයේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් උදව්වට පැමිණියා. එදා ඒ සඳහා වෙන් කළ ඉඩම අද වෙළෙඳ කලාපයට මායිම්ව තිබෙනවා. අද එහි වටිනාකම ගැන මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ ආකාරයෙනුයි මා ප්‍රේමදාස ජනාධිපතිතුමා සමඟ මේ වැඩකටයුතු ආරම්භ කළේ. එදා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මට එම අවස්ථාව ලැබුණා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අධ්‍යාපනය පිළිබඳ විශාල උනන්දුවක් දැක්වුවා. නිවාස තනා ගම්බිම් ඉදි කළ පසු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා රණසිංහ ප්‍රේමදාස මහතා නොමිලේ පොත් ලබා දුන්නා. එතුමා උදාගම්මාන අසල ඇති පාසල් සංවර්ධනය කිරීම පිළිබඳ නිතර නිතර මගෙන් විමසුවා.

“අද මේ රටේ පොල් අතු සෙවිලි කළ, මැටිවලින් තැනූ නිවාස කීයක් තිබෙනවාද? මා දන්නා පරිදි කුරුණෑගල හා අනුරාධපුරයේ මෙවැනි ගෙවල් 20ක් පමණ තිබෙනවා. එහි නම 'උල්පත'. එම නිවාසවල රැයක් ගත කිරීමට විදේශිකයකුගෙන් ඩොලර් 400ක් පමණ අය කරනවා. එය සංචාරක කර්මාන්තයට අදාළවයි. ඒ හැරුණු කොට පොල් අතු, මැටිවලින් සකස් කළ නිවාස තිබෙන බව මා සිතන්නේ නෑ. මීට සමගාමීව නොමිලේ වැසිකිළි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. පානීය ජලය සඳහා විමධ්‍යගත අයවැයෙන් ළිං සකස් කර දුන්නා. විදුලි බලය ලබා දුන්නා. පාරවල් තැනුවා. ඒ ආකාරයට සාමාන්‍ය ජනතාවගේ ජීවන බර අඩු කළා. අපේ බානගල ස්වාමීන් වහන්සේ දන්නවා අපි බියගම දියුණු කළ ආකාරය. සෑම තැනටම විදුලි බලයත් ලබා දුන්නා. කිසි අඩුවක් තිබුණේ නැහැ. මන්ත්‍රීවරුන් හැම දෙනාම රැස් වුණා. යුද්ධය තිබියදීත් අපි එම අදාළ ස්ථානවලට ගියා. එදා ඇරඹූ විශාල විප්ලවයේ 40 වැනි වසරයි අද අපි සමරන්නේ.

“අපට ජුලි 23 තවත් විශේෂ දවසක්. විශාල උත්සවයක් සමඟ සංකේතවත්ව ගම් උදාව ප්‍රථම වරට ආරම්භ වුණේ ජුලි 23 වැනිදා දවසක. විපක්ෂය කිව්වේ මෙය සර්කස් එකක් කියලා. විශාල ජනතාවක් එදා ගම් උදාව නැරඹීමට පැමිණියා. 1993 හොඳම ගම්උදාව වැඩසටහන මිහින්තලයේ පැවැත්වීමට ප්‍රේමදාස මැතිතුමා සැලසුම් කළා. නමුත් අවාසනාවකට එය ඉටු කිරීමට නොහැකි වුණා. ඊට පෙර ඉතා අලංකාරවත්ව බුත්තල ගම් උදාව පැවැත්වුණා. එය නැරඹීමට මගේ මවත් පැමිණියා. ඒ බව ප්‍රේමදාස මැතිතුමාට ආරංචි වී මගේ මව සහ මා සමඟ කතාබහ කර එදින රාත්‍රී භෝජනයටද එක්වුණා. එතුමා රට වෙනුවෙන් සිදු කළ දැවැන්ත කටයුතුවලට අපේ තරුණ සේවා සභාවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වීමෙන් පසුව මේ කටයුතු අඛණ්ඩව ඉදිරියට මෙහෙයවූවා. එසේම නව කටයුතුද ආරම්භ කළා. ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ආරම්භ කළා. කර්මාන්ත ඇමති ලෙස ඊට අවශ්‍ය ඉඩම් සොයා දෙන ලෙස මට බාර කළා. කොග්ගල, සීතාවක වෙළෙඳ කලාප ආරම්භ කළා. ඒ ආකාරයට රටේ ආර්ථිකය නැංවීමේ කටයුතු ඇරඹුවා. නමුත් අවාසනාවකට එතුමා අප අතරින් වෙන්වුණා. එසේ නොවුණා නම් රට තුළ ප්‍රේමදාස මැතිතුමා විසින් මීට වඩා වෙනසක් සිදු කරන්නට තිබුණා.

“කෙසේ හෝ ඉන්පසු නිවාස ව්‍යාපාරය විවිධ මාර්ග ඔස්සේ ගමන් කළා. නමුත් 2015 අපේ ආණ්ඩුව පිහිටුවීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට නිවාස අමාත්‍යාංශය බාර දුන්නා. එතුමා නිවාස ඉදිකර ගම්මාන සකස් කර විශාල වැඩකොටසක් නිමා කර අද මෙම උත්සවය පවත්වනවා. මේ වැඩසටහන් සඳහා ලබා දුන් මුදල්වලින් සියයට 95ක් වියදම් කළ බව එතුමා පවසනවා. එය වැරදියි. ලබා දුන් මුදල් නිවාස සඳහා වියදම් කර තවත් මුදල් ඒ සඳහා ලබා ගැනීමට උත්සාහ කළා. මුදල් අමාත්‍යාංශය මෙම නිවාස ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් කෙසේ හෝ මුදල් ලබා දුන්නා. අපට අවශ්‍ය වූයේ ගම සංවර්ධනය කිරීමටයි. එතුමා සෑම ප්‍රදේශයකම අඩුම තරමේ නිවාස 25ක්වත් ඉදිකර තිබෙනවා. ජීවත් වෙන්න නිවසක් නොතිබුණ ජනතාවට අද ඒ අවශ්‍යතාවන් සපුරා දී තිබෙනවා. මට එම නිවාසවලට යන්න අවස්ථාව ලැබුණා. මේ වනවිට විදුලි බලය ඇතුළු සෑම පහසුකමක්ම සමඟින් සජිත් ඇමතිතුමා නිවාස ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යනවා.

“ප්‍රේමදාස ජනාධිපතිතුමා ගුණසිංහපුර ආරම්භ කළා. එසේම මධ්‍යම පාන්තිකයන්ට ඇල්විටිගල නිවාස ඇරඹුවා. සජිත් ඇමතිතුමා ඒ කටයුත්ත ඉදිරියට ගෙන යමින් මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස අවශ්‍යතාව ඉටුකරගෙන යනවා. මේ ආකාරයට රටේ සෑම අංශයකටම නිවාස ලබා දීමට අපි කටයුතු කරනවා. සජිත් ඇමතිතුමා සෑම විටම ඉන්නේ ගමේ. රට පුරා ගොස් එම නිවාස ඉදිකිරීමේ කටයුතු සිදු කරනවා. මේ වැඩකටයුතු සඳහා සජිත් ඇමතිතුමාට උදව් කළ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාට මම ප්‍රශංසා කරනවා. මේ අයුරින්ම අපි අනාගතය ගැන සිතා බැලිය යුතුයි. ඉදිරියටත් අපි තවදුරටත් නිවාස සකස් කළ යුතුයි. මම එතුමාගෙන් විමසුවා ඉඩම් හිඟකම නිසා ඉදිරියේදී ග්‍රාමීය නිවාස ඉදිකිරීමේදී දෙමහල් නිවාස ඉදිකළ යුතුද කියා. අද චීනය එම කටයුත්ත මේ වන විට සිදු කරනවා. නමුත් ලංකාවේ හේන මැදත් නිවාස හදනවා. අද චීනයේ කුඹුරු එක තැනක, අනෙකුත් වගාබිම් තව තැනක. නිවාස වෙනම ස්ථානයක. විශේෂයෙන් නාගරික නිවාස ගැටලුව ගැන අපි තවදුරටත් සිතිය යුතුයි.

“අද වන විට විවාහ වී සිටින තරුණ පිරිස්වලට නිවාස මිලදී ගැනීම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. මෙය තවත් උග්‍ර වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. එසේ නම් එම නිවාස ගැටලුවට මුහුණ දිය යුතුයි. පානීය ජල සැපයුම වැඩි කළ යුතුයි. පරිසරය ආරක්ෂා කළ යුතුයි. එසේ නම් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ විප්ලවය සජිත් ඇමතිතුමා ඉදිරියට ගෙන යෑම පිළිබඳව මම එතුමාට විශේෂයෙන් ප්‍රශංසා කරනවා. නිවාස තනා ගම දියුණු කරමින්, අනාගතයට මුහුණ දිය යුතුයි. "සෑම කෙනකුටම නිවසක්" යන වචන කිහිපය අපි සත්‍යයක් බවට පත් කළ යුතුයි. දියුණු රටක් තැනීම අපේ කාර්යයයි. නිවාස ලබාදීමේ ක්‍රමයක්ද ඇති කළ යුතුයි. එම නිවාස මිලට ගැනීමට අවශ්‍ය ආදායම් මාර්ග, සහන කටයුතු අප සලසා දිය යුතු වෙනවා. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් මෙම විප්ලවය අවසන් කළ යුතුයි.”