අනෙකාට අත පෑවා ඇති, ශක්තිමත් මිනිසකු ලෙස නැඟී සිටිය යුතු කාලය එළඹ තිබෙනවා : ඇමතිනී තලතා අතුකෝරළ

 ඡායාරූපය:

අනෙකාට අත පෑවා ඇති, ශක්තිමත් මිනිසකු ලෙස නැඟී සිටිය යුතු කාලය එළඹ තිබෙනවා : ඇමතිනී තලතා අතුකෝරළ

වත්මන් රජය සමෘද්ධි සහනාධාරය ලබා දෙන්නේ සුදුසුකම අනුව බවත් අනෙකාට අතපා ජීවත් වන ක්‍රමය ඉවත් කරමින් ශක්තිමත් මිනිසකු ලෙස නැඟී සිටිය යුතු කාලය එළැඹ ඇති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (22) පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව සමෘද්ධි සහනාධාර හිමිකම්පත් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීවාය.

"පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීම සඳහා මූලිකත්වය ගත් දයා ගමගේ අමාත්‍යතුමාට ස්තූතිවන්ත විය යුතුයි. මේක පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා මේක දුන්නේ 'ජනසවිය' නමින්. එදා දේශපාලන බේදයෙන් තොරව සුදුසු අයට ජනසවිය දුන්නා. 1994න් පස්සේ මේ ව්‍යාපාරය දේශපාලනීකරණය වුණා. අද මෙතන ඉස්සරහ ඉන්නේ දේශපාලනීකරණයෙන් තොරවයි. එදා යූ.එන්.පී, ජේ.වී.පී අයට සමෘද්ධිය අහිමි වුණා. එකම සුදුසුකම වුණේ හිතවත්කමයි. මේක මෙහෙයවපු නිලධාරීන් දේශපාලනය හරහා මෙහෙයවන්න ක්‍රියා කළා. වත්මන් රජය ක්‍රියා කරන්නේ සුදුසුකම අනුවයි. එකම හේතුව දේශපාලනය නිසාම මේ සමෘද්ධිය ලබන අය ඉන්නවා. සමහර අය රජයේ සේවය නියුතු අය, ව්‍යාපාරිකයන්, සමෘද්ධිය ගන්නවා. එක පිරිසක් ඉන්නවා අවුරුදු 20 පුරාම සමෘද්ධිය ලබන අය. එදා සමෘද්ධිලාභීන් ලෙස ක්‍රියා කළ අය දේශපාලන අතකොලු බවට පත් වුණා. 2015 ජනවාරි 08 වැනිදා අපේ රජය රට භාරගන්නකොට බිලියන 10,000ක ණයක් තිබුණා. අපි ණය ගෙවන වැඩසටහන බාර ගත්තා. ඒ කියලා අපි වැඩ නොකර හිටියේ නැහැ. පසුගිය කාලේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගත්තා. අද එහෙම නැහැ.

"තමන් ජීවත් වන ඉඩම සඳහා ඔප්පු ලබා දීමේ වැඩසටහනක් අපි දියත් කරලා තියෙනවා. ඒ යටතේ ඔප්පු 5,000ක් ලබා දුන්නා. ලබන 6 වැනිදා ඔප්පු ලබා දෙන්න අගමැතිතුමා එනවා. ලක්ෂ 20,000ක වැඩ පහුගිය කාලය තුළ බලංගොඩ කොට්ඨාසයට විතරක් කළා. වැඩ කරනකොට අපිට අභියෝග ආවා. ස්වභාවධර්මය එරෙහි වුණා. ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ආවා. බෝම්බ පත්තු වුණා. 2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහත්තයා කලින්ම තිබ්බේ රටේ තිබුණු ණය කන්ද නිසා. මාධ්‍ය නිදහස නැහැ. අධිකරණය ස්වාධීන නැහැ කියලා අපිව ලෝකයෙන් කොන් කළා. අපිට හැමදාම දුප්පත්කමේ ඉන්න බැහැ. අනෙක් අයට අතපාලා ජීවත් වන ක්‍රමය ඉවත් කර ගන්න ඕනි. ශක්තිමත් මිනිසකු ලෙස ජීවත් විය යුතුයි. ගොඩක් අය කෑ ගහනවා අපි රට විකුණලාලු චීනෙට. මේ ආණ්ඩුව තියනකල් මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට විකුණන්නේ නැහැ. එදා රටේ සම්පත්, ඉඩම් විදේශිකයන්ට විකුණුවේ ඡන්දේ ගන්න නෙමෙයි."

මාතෘකා