කවුරු බාධා කළත් පරිසරය වෙනුවෙන් ගත් තීන්දු තීරණ වෙනස් කරන්නේ නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

කවුරු බාධා කළත් පරිසරය වෙනුවෙන් ගත් තීන්දු තීරණ වෙනස් කරන්නේ නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

වැලි, ගල් සහ පස් මේ රටේ අන්ත දූෂිත ව්‍යාපාර වන බවත් ඒවායේ සිදුවන අක්‍රමිකතා මැඩලීම වෙනුවෙන් නීති රීති රැසක් තමන් පසුගිය සිව් වසර තුළ හඳුන්වා දුන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (22) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැලි කැනීම් කරන කම්කරුවන් හරිත මංකඩ ඉදිකිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

"අපේ රටේ වැලි, ගල්, පස් කැනීම රටට ඔරොත්තු දෙන්නේ නැති විදියට ඉතාම බරපතළ ලෙස සිද්ධ වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් වැලි, පස් සහ ගල්වලට විශාල ඉල්ලීමක් තිබෙනවා. අපි කුඩා දූපත් රාජ්‍යයක්. අපේ රටට විශාල භූමියක් නැහැ. පුංචි රටක්. ලස්සන රටක්. ලෝකයේ බොහෝ රටවල තිබෙන කාලගුණය අපේ රටේ ප්‍රදේශ ගණනාවක තිබෙනවා. අපේ රටේ තිබෙන වනාන්තර, කඳු, වැලි, ගල් පස් වැනි ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගත්තේ නැත්නම් මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. හුස්ම ගන්නත් බැරිව යන රටක් බවට පත් වනවා. වැලි, ගල්, පස් රටේ තිබෙන විශාල ගල්කඳු ටික කඩපුවහම ගල්කඳු ටික නැතිව ගියොත් මේ රටේ කාලගුණය දේශගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. රට කාන්තාරයක් වෙනවා. රටේ පස් සම්පත ආරක්ෂා කර ගත්තේ නැත්නම් කඳු කැපුවොත් විශාල විනාශයක් සිදු වනවා. කඳු කපන්නේ නැතිව පස් ගන්නේ නැතිව ලෝකයේ රටවල නව තාක්ෂණික ක්‍රමවේද මඟින් මූලික සම්පත් සොයාගෙන ඒ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු කෙරෙනවා. අපේ රටේ තවමත් පාරවල් හදන්නයි ගොඩනැඟිලිවලටයි පස් ගැනීම නවත්වලා නැහැ.

"ලංකාවේ වැලි, ගල්, පස් ආශ්‍රිතව පවතින්නේ අන්ත දූෂිත ව්‍යාපාර. කොළඹ වැලි බිස්නස් කරන්නේ පාතාලය. ඒක තමයි ඇත්ත තත්ත්වය. වැලි තොටුපොළවල් බොහොමයක් පාතාලයට සම්බන්ධයි. අපරාධකාරයන්ට සම්බන්ධයි. දැන් පොළොන්නරුවේ මනම්පිටියෙත් අපි මොනවා හරි හොඳ දෙයක් කිව්වොත් ඒක ලේසියෙන් ක්‍රියාත්මක කරන්න බැහැ. ටිපර් සංගමය, ටිපර් රථ, ටිපර් රියදුරන් වැලි ගොඩදැමීම් ඉතාම නුසුදුසු විදියට තමා කරන්නේ. ක්‍රමවත්ව, විධිමත්ව නෙවෙයි.

නමුත් වැලිත් සංවර්ධනයට අවශ්‍යයි. පසුත් සංවර්ධනයට අවශ්‍යයි. ගලුත් සංවර්ධනයට අවශ්‍යයි. නමුත් අපි කොහොමද ස්වභාවික සම්පත් අවශ්‍ය ප්‍රමාණයට රැකගෙන මේ කළමනාකරණය කරන්නේ කියන එක හිතන්න ඕන.

"2015 මම ජනාධිපති වෙලා පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ගත්ත පළමුවැනි තීන්දුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමයි. වැලි බලපත්‍ර අදත් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නැහැ. පෞද්ගලිකව කාටත් දීලත් නැහැ. දෙන්නෙත් නැහැ. දුන්නෙත් නැහැ. නමුත් මේ මමත් වැලි බිස්නස්කාරයෙක්, වැලි ජාවාරම්කාරයෙක් කියලා ඔය සෝෂල් මීඩියාවල යනවා හරියට. මගේ ජීවිත කාලයට මම වැලි ඇටයක්, වටිනා දෙයක් ඔය වැලි ගොඩදාන අයගෙන් අරගෙන නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ කිසිදේකින් මම හම්බ කරලා නැහැ. ඉතාමත් ලස්සනට වැලි තොටුපොළක් කොහොමද පවත්වාගෙන යන්නේ කියලා මේ පත්‍රිකාවේ පැහැදිලිව පෙන්නුම් කරලා තිබෙනවා. විධිමත් ක්‍රමවේදයක් තුළ ගංඉවුර ආරක්ෂා කරගෙන, පස ආරක්ෂා කරගෙන, ගඟ ආරක්ෂා කරගෙන, ගඟේ ඉවුරු ආරක්ෂා කරගෙන, කොහොමද වැලි තොටුපොළ පවත්වාගෙන යන්නේ කියන කාරණය ගැන මෙහි උපදෙස් දීලා තියනවා. ඒ විදියට ලස්සන වැටවල් හදලා, ඒ වැටත් එක්ක ගස් හදලා, ගඟ අයිනේ තියෙන ගස් කපන්නේ නැතුව වාහන ගෙනියනකොට වනාන්තරය විනාශ කරන්නේ නැතුව පරෙස්සමට පරිසරය ආරක්ෂා කරගෙන, ස්වභාවික සම්පත් ආරක්ෂා කරගෙන අපි ඒ කටයුත්ත කළ යුතුයි. වැලි ගෙනියන ටිපර් සමහර අය හොරට ගඟට දානවා. සමහරවිට ඒවා නීති විරෝධී විතරක් නෙවෙයි, ඒවා දේශද්‍රෝහී කටයුතු. සල්ලිවලට ආසා කරන ජාවාරම්කාරයින් හිතනවා සල්ලි තියෙනවා නම් අනෙක් සියලු දේවල් තියෙනවා කියලා. නමුත් පරිසරය විනාශ වුණොත් මේ විදියට සල්ලි කොච්චර තිබුණත් වැඩක් නැහැ. සල්ලි මොනතරම් තිබුණත් කාන්තාරයේ මිනිසකුට කන්න නැහැ. සල්ලි කන්න බෑනේ. ඒක නිසා මේ රට කාන්තාරයක් වෙන එක වළක්වගෙන, පරිසරය ආරක්ෂා කරගෙන, ගහවැල, ඇළදොළ, සතා සිවුපාවා ආරක්ෂා කරගෙන අපි දරුවන්ට ආදරය කරනවා වගේම ගස්වලට, පැළවලට ආදරය කරන්න ඕන. වනාන්තරයට ආදරය කරන්න ඕන.

"මම ජනාධිපති වුණාට පස්සේ පරිසර ඇමති විදියට නීතියක් සම්මත කළා. චක්‍රලේඛයක් තිබෙනවා. ගස් කපනවා නම් ජනාධිපතිගේ අනුමැතිය ගන්න ඕන. මගේ අනුමැතියක් නැතුව ගස් කපන්න බැහැ. පරිසර අමාත්‍යාංශයේ ලේකම් අවශ්‍ය ෆයිල් මං ගාවට අරගෙන එනවා ගස් කැපීමට අවශ්‍ය නම්. බලපත්‍ර ගන්නකොට ඒකේ හේතු ඔක්කොම කියන්න ඕන. ඒ නිසා මේ වැඩපිළිවෙළ ඉතාම හොඳ වැඩපිළිවෙළක්. හරිත වැලි තොටුපොළ සංකල්පයට මම සුබ පතනවා ආශිර්වාද කරනවා. අසේල ඉද්දවෙල මහත්තයත් අනෙක් නිලධාරී මහත්වරුත් ඒ කාර්යමණ්ඩලයත් මේ කරන සේවාව මම ඉතාමත් අගය කරනවා. ඒ නිසා මේ සංකල්පය මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න දෙයක්. සතා සිවුපාවාගේ ජිවිතය ආරක්ෂා කර ගන්න දෙයක්. මහපොළොව නැති වුණොත් මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. හුස්ම ගන්න බැහැ. ගහකොළ නැති වුණොත් මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. මේ තත්ත්වය තේරුම් අරගෙන මේ ඉතාමත් වටිනා වැඩපිළිවෙළ හැදීම ගැන භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, තාක්ෂණ සේවා සමාගම, Technical service ආයතනය මේ ගෙනියන වැඩපිළිවෙළට එහි ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලවලට මගේ විශේෂ ගෞරවයත් ස්තූතියත් පිරිනමමින් මේ වැඩපිළිවෙළ ඉතාම සාර්ථක වේවා කියලා මම ඔබ සියලු දෙනාටම සුබ පතමින් ආශිර්වාද කරනවා.

මාතෘකා