ධර්ම ප්‍රචාරයට ඝාතනයන් නොකරන එකම ආගම බුද්ධාගමයි : අමාත්‍ය පාඨලී චම්පික

 ඡායාරූපය:

ධර්ම ප්‍රචාරයට ඝාතනයන් නොකරන එකම ආගම බුද්ධාගමයි : අමාත්‍ය පාඨලී චම්පික

ධර්මය ප්‍රචාරය කිරීම සඳහා මිනිසුන් ඝාතනය නොකරන්නැයි උගන්වන එකම ආගම බුද්ධ ධර්මය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සඳුදා (10) සිය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 200ක් වැය කර පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබූ මහනුවර ශ්‍රී නාථ දේවාලය බැතිමතුන්ගේ පුද සත්කාරය සඳහා නැවත විවෘත කළ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මේ ශිෂ්ටාචාරයේ බුද්ධ ධර්මය බලවත්ව ගමන් කරන අවස්ථාවේදී ලෝකයේ උසම ගොඩනැඟිලි, රුවන්වැලි සෑය, අභයගිරිය තිබුණේ මේ රටේ. අද ඩුබායි රටට ගියාම, තායිවානයට ගියාම, චීනයට ගියාම, ඇෙමරිකා එක්සත් ජනපදයට ගියාම තමයි ලෝකයේ උසම ගොඩනැඟිලි දැක ගන්න තිබෙන්නේ. නමුත් වසර 2,000කට පෙර මේ ලෝකයේ උසම ගොඩනැඟිලි තිබුණේ, ලෝකයේ විශාලතම වාරි කර්මාන්ත තිබුණේ අපේ රටේ. ඒ වගේම නිශ්චිත භාෂාවක් අපි ගොඩනඟා ගත්තේ මේ රට තුළ. සමහරු අහනවා සිංහලයන්ගේ තිබෙන විශේෂත්වය මොකද්ද කියලා. මේ අන්‍ය ජාතිකයනුත් ඉන්නවනේ කියලා. ඒ සියලු ජනතාවට පුරවැසියන් හැටියට සමාන අයිතීන් තිබෙනවා. ඒක ව්‍යවස්ථාවෙත් ලියලා තිබෙනවා. අපේ හදවතෙත් ලියලා තිබෙනවා. මේ සමාජයේ පිළිඅරගෙන තිබෙනවා. ඕනම භාෂාවක් කතා කරන ඕනම අයකුට ඕන තැනක පදිංචි වෙන්න, ඕන තැනක නීත්‍යනුකූලව රැකියාවක් කරන්න, අධ්‍යාපනය ලබන්න, සෞඛ්‍ය පහසුකම් ලබන්න, ඡන්දය පාවිච්චි කරන්න, දේශපාලන බලය ලබා ගන්න, සංවිධානය වෙන්න ඒ සෑම ජන කණ්ඩායමකටම අයිතිය තිබෙනවා.

“හැබැයි මේ රට තුළින් බිහිවූ එකම බස සිංහල බස පමණයි. අන්‍ය භාෂාවන් එකක්වත් මේ රට තුළින් බිහිවූ ඒවා නෙමෙයි. ඒ විතරක් නෙවෙයි, මේ බස අද ලෝකයේ තිබෙන භාෂා 6,000කට ආසන්න ප්‍රමාණයෙන් අක්ෂර වින්‍යාසය පැත්තෙන් ගත්තහමත් පැරණිම බස. ඒ වගේම මේ භාෂා 6,000න් කිසියම් රටක අඛණ්ඩව එක දිගට වසර 3,000ක් කතා කරගෙන ආපු එකම බසත් සිංහල බස පමණයි. ඒ නිසා මේ බස සුවිශේෂයි. මේ බස අපේ ශිෂ්ටාචාරයයි. මේ බස තමයි අපේ ශිෂ්ට සම්පන්නභාවයේ බලගතු ලකුණ. ලෝකයේ බලගතු ජාතීන් යැයි කියන විශාල රටවල්, චීනය, ජපානය මේ හැම රටේම අකුරක් තිබෙනවා වචනයකට. අපට අපේ මුතුන් මිත්තන් විධිමත් බසක් වසර දෙදාහකට තුන්දාහකට පෙර සිට හැදුවා විතරක් නෙමෙයි, විධිමත් සාහිත්‍යයක් ගොඩනැඟුවා. ඒ වගේම අපගේ ඉතිහාසය අපි පොතක ලිව්වා. එය තමයි මහා වංශය. ඇත්තම කිව්වොත් ඉන්දියාවේ අශෝක නමැති රජෙක් ජීවත් වුණා යැයි කියලා ඉංග්‍රීසීන් දැන ගත්තේ ගයිගර් මහතා මහා වංශය පරිවර්තනය කළාට පසුවයි. එතෙක් අශෝක නමැති රජ කෙනෙක්, රජ පරම්පරාවක් ඉන්දියාවේ සිටියා කියා ඉංග්‍රීසීන් දැන සිටියේ නැහැ. අපේ මේ කෘතිය ගයිගර් මහතා පරිවර්තනය කළාට පසුව තමයි එය දැනගත්තේ. එම කෘතිය පරෙස්සම් කරනු ලැබුවේ අපේ ස්වාමීන් වහන්සේලා විසින්. පන්සල්වල තිබිලා තමයි එම කෘතියේ පිටපත් ලැබුණේ. විශේෂයෙන්ම මුල්ගිරිගල විහාරයේ මහා වංශයේ ඉතිහාසය අප ලියා තිබෙනවා. එවැනි අතීතයකට උරුමකම් කියන එකම ජාතියයි ඉන්නේ ඒ යුද්දෙව්වන්. ඔවුන්ගේ ඉතිහාස පොත තමයි බයිබලය. ඒ නිසා අපි ආඩම්බර විය යුතුයි. හැබැයි ආඩම්බර විය යුත්තේ කාටවත් පහර දීලා, කෑ ගහලා, දඬුවම් කරලා නෙමෙයි.

“ඒ වගේම අපේ බෞද්ධයින්, ඒ බුද්ධ ධර්මය, මේ රට තුළ ලේඛනගත කරලා ලෝකයට ලබා දුන්නා. ඒ නිසා ලෝකය ලබා දීපු ප්‍රධාන දායාදය ථේරවාදී බුදු දහමයි. ඒ වගේම ඒ බෞද්ධ දර්ශනයත් සමඟ ගොඩනැඟුණු අවිහිංසාවාදය. අපගේ ගාථා පාඨ

දාහත්දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි ඒ කිසිම තැනක අන් අයට, අන් සත්ත්වයින්ට අන් ගහ කොළටවත් හිංසා කරන්නෙයි කියලා කියන්න පුළුවන් එකම අකුරක්වත් වචනයක්වත් හොයා ගන්න නැහැ. නමුත් අද ලෝකයේ ආගමික ගැටුම් ඇති වෙලා තිබෙන්නේ මොකද? විවිධ ආගමික ග්‍රන්ථවල තිබෙනවා අන්‍ය ආගමිකයන්ව මරන්න, වෛර කරන්න, විනාශ කරන්න කියලා. මෙවැනි දෙයක් නැති එකම ධර්මයත් ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඝාතනය නොකළ එකම ආගමත් අපි අදහන බුද්ධ ධර්මය විතරයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ බුදුදහම ආරක්‍ෂා කරන්න ඕනේ. ඒ මත ගොඩනැඟුණු ජල තාක්ෂණය, ඒ වගේම වාස්තු විද්‍යා තාක්ෂණය ආරක්‍ෂා කිරීම අපගේ වගකීමයි.”

මාතෘකා