වඩු කර්මාන්තය නවීකරණයට හා සංවර්ධනයට රජය උපරිම සහාය ලබා දෙනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

වඩු කර්මාන්තය නවීකරණයට හා සංවර්ධනයට රජය උපරිම සහාය ලබා දෙනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වන වගාව පුළුල් කළ යුතු බවත් වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහාය ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයන් පිරිසක් සමඟ සඳුදා (10) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“අපේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ රටේ වඩු කර්මාන්තය දියුණු කිරීමයි. වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය ආධාර උපකාර රජය විසින් ලබා දෙනු ලබනවා. ඒ වගේම රටේ දැව සම්පත ආරක්‍ෂා කිරීමත් රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස අප සලකනවා. රටේ සමස්ත වනගහනය මේ වන විට සියයට 28ක පමණ අගයක් ගන්නා අතර අපට අවශ්‍ය වන්නේ එම ප්‍රමාණය තවත් වර්ධනය කර ගැනීමටයි. ඒ අනුව රටේ දැව සම්පත වර්ධනය කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ජනාධිපතිතුමා පසුගියදා සඳහන් කළේ රටේ වනාන්තර ආරක්‍ෂා කර ගැනීම පිළිබඳව පමණයි. එතුමා පැවසුවේ රටේ තිබෙන ජංගම වඩු

කර්මාන්තශාලා සහ චේන්ෂෝ තහනම් කිරීම පිළිබඳවයි. ජංගම වඩු කර්මාන්තශාලා සහ චේන්ෂෝ භාවිතය ඉහළ යනවා නම් රටේ වන ගහනය සියයට 28ටත් වඩා පහළ මට්ටමකට පත් වෙනවා.

“කිසිම අවස්ථාවක රටේ වඩු කර්මාන්තයට බාධා වන ආකාරයට මැදිහත් වීමට අපට අවශ්‍ය නැහැ. රටක් ලෙස වඩු කර්මාන්තය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතුයි. 2003 වසරේදී අපි වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කළා. නමුත් එම වැඩකටයුතු ඉදිරියට කරගෙන යෑමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. එම නිසා වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන අපි නැවත ක්‍රියාත්මක කරනවා. මෙම ක්ෂේත්‍රය නවීකරණය කිරීමේදී ගැටලු ගණනාවක් මතු වෙනවා. මුදල් ගැටලු, අලෙවි කිරීමේ ගැටලු සහ තාක්‍ෂණය ලබා ගැනීම පිළිබඳ ගැටලුත් මීට බලපානවා. මොරටුව ප්‍රදේශය තාක්‍ෂණික දැනුම ඉතා හොඳින් භාවිත කළ හැකි නගරයක්. මොරටුව විශ්වවිද්‍යාලය අප අලුතින් ආරම්භ කළ ඒ.ටී.අයි. ආයතනය හරහා සාම්ප්‍රදායික වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ලබා ගත හැකියි.

“මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් මොරටුව ප්‍රදේශයේ සිටින නිසා මේ වැඩ කටයුතු කරගෙන යෑමේ ගැටලුවක් ඇති වන්නේ නැහැ. වඩු කර්මාන්තය පිළිබඳව අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට අමාත්‍යාංශ ලේකම්වරයාත් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. මෙම කර්මාන්තය විශාල කර්මාන්තයක් ලෙස දියුණු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ දැනුම ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකර විදේශ රටවලටත් ලබා දිය යුතුයි. එම නිසා ඉදිරියේදී වඩු කර්මාන්තයට හොඳ අනාගතයක් තිබෙන බව පැවසිය යුතුයි. මේ පිළිබඳව එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සකස් කර අපට වාර්තාවක් ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

“ඒ අනුව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙන ණය සහන වඩු කර්මාන්තයටත් ලබා දීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. අප රටේ වගකිවයුත්තන් ලෙස කටයුතු කළ යුත්තේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීමටයි. මෙම කර්මාන්තයේ නියැළෙන පුද්ගලයන්ට සාර්ථකව මුදල් ලබා ගත හැකි ආකාරයට මෙම කර්මාන්තය සංවර්ධනය කළ යුතුයි. අපේ එම පරමාර්ථය සාර්ථක කර ගැනීමට මෙම කර්මාන්තය තුළ නවීකරණයක් සිදු කළ යුතුයි. ඒ සඳහා ඔබේ අදහස් සහ ආණ්ඩුවේ සහභාගීත්වය අවශ්‍ය වන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.”

මාතෘකා