මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න දෙන්න එපා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න දෙන්න එපා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය සහ පරමාර්ථය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් මේ රටේ බිහි කිරීම බවත් රටක් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සැම දෙනාම එකට එක් වී ත්‍රස්තවාදය මැඩලිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (08) ‘රට වෙනුවෙන් එකට සිටිමු’ මුලතිව් දිස්ත්‍රික් සමාප්ති උත්සවයට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“ඔබ දන්නවා ග්‍රාම ශක්ති, සමෘද්ධි, මත්ද්‍රව්‍ය, පරිසරය මේ වගේ වැඩසටහන් එක්ක වැඩසටහන් රාශියක් මුලතිව් දිස්ත්‍රික්කයේ විශේෂයෙන් පහුගිය මාසයේ දෙකේ ක්‍රියාත්මක කළා. මුලතිව් දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය එක්ලක්ෂ විසිපන්දාහකට වඩා අඩුයි. මේ එක්ලක්ෂ විසිපන්දාහකට වැඩිය අඩු ජනගහනයට අපි පහුගිය මාස දෙක තුළ ව්‍යාපෘති එක්දහස් එකසිය හැත්තෑ අටක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. 1700ක් අපි පටන් අරන් තියෙනවා. 1178ක් ඉවර කරලා තියෙනවා. මේ වැඩසටහනට සෑම පවුලකින්ම දිස්ත්‍රික්කයේ එක්කෙනෙක් හරි සම්බන්ධ වෙලා තියෙනවා. තමුන්නාන්සෙලාගේ විසඳෙන්නේ නැතිව තිබුණු ප්‍රශ්න හුඟාක් විසඳලත් තිබෙනවා. දයා ගමගේ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අලුතෙන් සමෘද්ධි පවුල් දහස් ගාණකට අද සමෘද්ධි ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒ වගේම ගයන්ත කරුණාතිලක ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් දහස් ගාණකට ඉඩම් ඔප්පු ලැබෙනවා.

“යුද්ධය කාලේ අසීමිත විදියට, කියන්න බැරි තරමට තමුන්නාන්සෙලා දුක් වින්දා. ඒ ගැන මම අතීතය අවුස්සන්න ඕන නෑ. ඔබ හොඳින් දන්නවා. ඒ නිසා මේ රට එකට සිටිමු කියන වැඩසටහන යටතේ අපි සෑම දිස්ත්‍රික්කයකම යන්නේ සියලු දෙනා එකට එකතු කරගෙන රට ගොඩනඟන්න ඕන නිසා. රට එකට සිටින්න නම් මේ රටේ විශේෂයෙන්ම නායකත්වය ගත යුත්තේ කවුද? මේ රටේ මහා සංඝරත්නය සියලු බෙදීම්වලින් තොරව එකට සිට රට එකට එකතු කරන්න උන්වහන්සේලා නායකත්වය ගන්න ඕන. හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික ඒ සියලුම පූජකතුමන්ලා එකට සිටින්න ඕන. සමාවෙන්න ඕන මම මෙහෙම කිව්වට. නමුත් ඒ අයත් බෙදිලා. ඉතින් රට එකට සිටින්නේ කො‍ෙහාමද? මම මේ කතා කරන්නේ ඡන්ද ගන්න බලාගෙන නෙවෙයි. මම කතා කරන්නේ රට එකට සිට ගන්නයි. නමුත් රට එකට සිටිමු කිව්වම එකට සිට ගන්නේ නැති අයත් ඉන්නවා. මේ අවුරුද්ද අවසානේ මේ රටේ ඡන්දයක් තියෙනවා. අද හුඟ දෙනෙක් වැඩ කරන්නේ ඡන්දය ඉලක්ක කරගෙන. ඒක නිසා රට හුඟක් බෙදිලා. ඒ නිසා අපි සැම වෙලේම අන්තවාදය ප්‍රතික්ෂේප කරන්න ඕන.

“කුමන පාර්ශ්වයකින් හෝ අන්තවාදය හොඳ නෑ. පහුගිය අප්‍රේල් 21 වැනිදා මේ රටේ ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. රටට විශාල ආර්ථික අලාභයක් සිද්ධ වුණා. සංචාරක ව්‍යාපාරය කඩා හැළුණා. රටේ වෙන්වීම් බෙදීම් වැඩි වෙලා තියෙනවා. ඒකෙන් ඒ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය ඔවුන් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ බෝම්බ පිපිරෙව්වේ ජීවිත විනාශ කරන්න විතරක් නෙවෙයි. රට ජාතීන් වර්ග විදියට කඩන්න බෙදන්න විනාශ කරන්න. අන්තවාදය හා ත්‍රස්තවාදය බෝම්බ පුපුරන්න විනාශකාරී කරන්නේ රටවල් බෙදන්න කඩන්න විනාශ කරන්න. ඒ උන්ගෙ ඉලක්කය අද ලංකාවේ සාර්ථක වෙලා තියෙනවා. ඇයි ඒ? දේශපාලනඥයෝ සියල්ලටම කලින් රට වෙන් කරනවා, බෙදනවා ජාතීන් විදියට. ආගම් විදියට බෙදීම් වැඩි වෙනවා. ජාතීන් විදියට බෙදීම් වැඩි වෙනවා. ඒ වගේම භාෂා විදියට බෙදීම් වැඩි වෙනවා. කුලය විදියට බෙදීම් වැඩි වෙනවා. මේක මේ රටේ විනාශයක්. ඒ නිසා මම විශේෂයෙන් යමක් කිව යුතුයි. ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පුපුරපු ඉලක්ක සම්පූර්ණ කරන්න දෙන්න එපා. මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න එපා. උතුරෙන් ප්‍රභාකරන් කෙනෙක් බිහි වී රටේ ලොකු විනාශයක් සිද්ධ වුණා. තමුන්නාසේලා, අපි ඔක්කොම දුක් වින්දා.

“සිංහල, දෙමළ, මුස්ලිම්, හැම කෙනෙක්ම මියගියා. ඒ දුක්ඛිත සිද්ධීන් හමුවේ අත්දැකීම් අප හැම කෙනකුටම තිබෙනවා. මේ අප්‍රේල් 21 වැනිදා බෝම්බ පිපිරීමේ ඉලක්කය සහ පරමාර්ථය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් මේ රටේ බිහි කිරීමයි. අප ඒකට අහුවෙන්න හොඳ නෑ. ඒක නිසා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම කෙනෙක්ම සමඟියෙන් ජීවත් වෙන්න ඕන. ෙබෙදුණොත් කැඩුණොත් වෙන්වුණොත් අපි ඔක්කොම රටම පරාදයි. මේ රටේ නැවත යුද්ධය ඇති වේවි. මේ රටේ දුප්පත්කම වැඩි වේවි. මේ රට කඩා හැළේවි. මේ රට අපි රැක ගන්න ඕන. ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක අතරින් මුලතිව් දිස්ත්‍රික්කයේ තමා ලංකාවේ වන ඝනත්වය වැඩිම දිස්ත්‍රික්කය. තමුන්නාන්සෙලා මේ දිස්ත්‍රික්කයේ වනාන්තර, කැලෑව ආරක්ෂා කරගෙන තිබෙනවා.

“ලංකාවේ වැඩිම වන ඝනත්වය පළාත් විදියට ගත්තොත් එන්නේ උතුරු පළාතෙන්. අපි ගහක් කපනවා කියලා කියන්නේ මිනිහෙක්ගේ ජීවිතයක් විනාශ කරනවා කියන එකයි. ගහකොළ නැත්නම් අපිට හුස්ම ගන්න බැහැ. වාතය නැහැ. ඔක්සිජන් නැහැ. ඒක නිසා තියෙන වනාන්තරය අපි රැක ගන්න ඕන. ඔබ හැම කෙනෙක්ම ඔබේ උපන් දිනයට පැළයක් හිටවන්න ඕන. විශේෂයෙන් ඒක පාසල් දරුවන්ට උගන්නන්න ඕන. ඔබේ ජීවිතයේ වැදගත් දවස්වලට පැළයක් හිටවන්න ඕන. මේ රට වශයෙන් ගත්තම තමුන්නාන්සෙලාගේ දිස්ත්‍රික්කයේ වන ඝනත්වය සියයට හැට පහකට වැඩියි. ලංකාවේ මුළු රට වශයෙන් ගත්තම සියයට 28යි. මම පහුගිය අවුරුදු හතරහමාරේ ජනාධිපති වගේම පරිසර ඇමති විදියට මේ වනාන්තරය රැක ගන්න නිති රීති අලුතෙන් හැදුවා. ඒ වගේම වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. එහි හුඟක් ප්‍රතිඵල තිබෙනවා. අලුත් නීති රීති හැදුවා. මේ ගම්වල හැමතැනම කැලෑ කපන මැෂින් තියෙනවා අතේ ගෙනියන ඒවා. මම මාස දෙකකට කලින් කිව්වා චක්‍රලේඛයක් නිකුත් කළා පොලිසිවලට ඒ වගේම මහජනයාට දැන්වුවා තමන්ගේ ගෙවල්වල තියෙන කැලෑ කපන මැෂින් ඔක්කොම පොලිසිවල ලියාපදිංචි කරන්න කියලා. සති තුනක් ඇතුළත මැෂින් අසූදෙදහසක් පොලිසිවල ලියා පදිංචි කෙරුවා. ගෙවල්වල තව ලියාපදිංචි කර නැති මැෂින් හොරෙන් හංගගෙන ඉන්නවා විසිපන්දාහකට වැඩිය. ගස් කපන මැෂින් ලංකාවේ ලක්ෂයකට වැඩිය තියෙනවා ඒ විදියට ලියාපදිංචි නොකරපු. එක මැෂින් එකක් දවසකට එක ගහක් කැපුවොත් දවසකට ගස් ලක්ෂයක් කපනවා. ලංකාවේ ගස් වනාන්තර සියයට අනූ පහක් විනාශ වෙන්නේ ජාවාරම්කරුවන් හොරට කපලා. ඒ නිසා මම පහුගිය දවසක අලුත් නීති රීති දැම්මා. පිටරටින් ගේන ගස් කපන මැෂින් සම්පූර්ණයෙන්ම මම තහනම් කරනවා. ගස් කපන මැෂින් තියෙන හැම කෙනකුගෙන්ම බද්දක් අය කරනවා ආණ්ඩුවට. මේ හැම දෙයක්ම කරන්නේ ගස් කැපීම නවත්වන්න. ගෙදර තියෙන බඩු හදා ගන්න, ගෙවල් හදන්න, ගොඩනැඟිලි හදන්න පිටරටින් ගස් ගේන්න ඕන. මම ඊයේ පෙරේදා කිව්වා මේ ලංකාවේ අලුතෙන් වඩු මඩු හදන්න දෙන්නේ නෑ කියලා. විශේෂයෙන් ඒවා අලුතෙන් ලියාපදිංචි කරන්නෙ නෑ. තහනම් කරනවා.”

මාතෘකා