කැපකිරීම් කළ හැකි විනයක් සහිත නායකත්වයක් ජවිපෙ සතුයි : ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

 ඡායාරූපය:

කැපකිරීම් කළ හැකි විනයක් සහිත නායකත්වයක් ජවිපෙ සතුයි : ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

රටේ ආර්ථිකයේ ඉලක්ක සකස් කළ යුත්තේ දේශපාලන කළමනාකරණයෙන් බවත් ඒ සැලැස්මට අනුව ක්‍රියාත්මක විය හැකි ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් ජවිපෙ සතු බවත් කැපකිරීම් කළ හැකි විනයක් සහිත දේශපාලන නායකත්වයක් හා දේශපාලනයක් සහිත ජනතා විමුක්ති පෙරමුණට එම දේශපාලන කළමනාකරීත්වයට මැදිහත් විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) නුගේගොඩදී ‘වීදි පිරෙන පාද සටන’ මහජන රැලිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙමෙස්ද කීය.

“කළුතරින් 07 වැනිදා ආරම්භ කරපු පා ගමන කිලෝමීටර් 41ක් දුර ගෙවාගෙන අද නුගේගොඩට පැමිණ රටට අලුත් සංඥාවක් ලබා දුන්නා. ඒ වත්මන් ආණ්ඩුව ගෙදර යවන බවටත් අලුත් ආණ්ඩුවක් ගෙන එන බවටත් වන පණිවිඩයක්. ජනතා විමුක්ති පෙරමුණ මහපාරට අලුතින් බැස්සා නෙමෙයි. ජ.වි.පෙ. හැමදාම ජනතාව සමඟ සිට ගනිමින් ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩවලට එරෙහිව පාරට බහින පක්ෂයක්. ගොවි ජනතාව, ධීවර ජනතාව, කම්කරු ජනතාව වෙනුවෙන් පාරට බහින පක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂලා වගේ වොයිස් කට් දේශපාලනයක් කරන පක්ෂයක් නෙමෙයි ඇත්ත ජනතා ප්‍රශ්න වෙනුවෙන් මහ පාරට බැහැලා සටන් වදින පක්ෂයක්.

“මේ රටේ වංචා, දූෂණ හෙළිදරව් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. රවිට ඇමතිකම නැති වුණේ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මහ බැංකු පරීක්ෂණ ඉදිරියට ගෙන ගිය නිසයි. රටට ලැබිය යුතු මුදල් ඇවන්ගාඩ් හොර සමාගමකට හැරවීමට එරෙහිව

ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් ගෙනාවා. තිලක් මාරපනට ඇමතිකම නැති වුණේ එතනදි ගෝඨාභය රකින්න ගියපු එකට එරෙහිව ජ.වි.පෙ. විශ්වාසභංගයක් ගෙන ආ නිසයි. අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝග නිකුත් කරලා තියෙද්දී හිටපු ජනධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් සැඟවී සිටියේ එවකට පොලිස් ඇමති සාගල රත්නායකගේ නිවසේයි. මේ බව රටට හෙළිදරව් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. විමල් වීරවංශ හොර ගමන් බලපත්‍රයකින් රට යන්න ගිහින් අහු වුණාම රනිල් නීතිපතිට කියලා ඔහුව නිදහස් කර ගත්තා.

“ජ.වි.පෙ. අපට ආණ්ඩුව සමඟ කිසිදු ඩීල් එකක් නැහැ. අපි ඔක්තෝබර් 26 ආණ්ඩුව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව පාරට බැස්සා. එහි සාධාරණත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 07දෙනකු විසින් සනාථ කරනු ලැබුවා. අපි රනිල් - මෛත්‍රී ආණ්ඩුව ගෙදර යවන්නේ නැවත රාජපක්ෂ පාලනයක් ගෙන ඒමට නෙමෙයි. රට ගොඩනඟන ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැඟීම වෙනුවෙනුයි. බලය තිබෙනනේ ජනතාව සතුවයි. ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ නෙමෙයි. එයට යන කෙනකුට බලය ආරූඪ වෙනවා නෙමෙයි. එම බලයේ උල්පත ජනතාවයි. ජනතාවගෙන් නොවිමසා බලය ගන්න ගිහින් මහින්දලාට ලැජ්ජා වෙන්න සිද්ධ වුණා. මහින්ද රාජපක්ෂ දින 52ක් අගමැති වුණා. විමල්ලා, ගම්මන්පිලලා විනාඩි 45කට ඇමතිවරුන් වුණා. රනිල්ලාට මහින්දලාට තමන්ගේ අනුප්‍රාප්තිකයන්ට තමන්ගේ පෞද්ගලික දේපළක් දෙන්න පුළුවන්. ඒත් රටක් එහෙම දෙන්න බැහැ.

“අපි රනිල්ගෙන් හෝ මහින්දගෙන් බලය ඉල්ලා ගන්නවා නෙමෙයි. අපි බලය ඉල්ලා ගන්නේ ජනතාවගෙන්. අපට එය කළ හැකියි. 71 පරම්පරාවේ අපේ නායකයන්, පැරණි වමේ පක්ෂවලින් ඉවත් වූවන්, සුන්දර අදහස් ඇති යෞවනයින්, නිර්මාණශීලී කලාකරුවන්, දක්ෂ වෘත්තිකයන් එකතු කරගෙන එළඹෙන ජූලි 14 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නව සංවිධානයක් පිහිටුවනවා. මීළඟට රටේ බලය හුවමාරු කරන බලවේගය වන්නේ එයයි. අපට පැවරී තිබෙන්නේ දේශපාලන කළමනාකරණ කොටසයි. රටේ ආර්ථිකයේ එක් එක් ක්ෂේත්‍රයන් වසර 05ක් තුළ ක්‍රියාත්මක කළ යුතු ඉලක්ක සකස් කළ යුත්තේ දේශපාලන කළමනාකරණයෙනුයි. ඒ සැලැස්මට අනුව ක්‍රියාත්මක විය යුත්තේ ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයනුයි. කැපකිරීම් කළ හැකි විනයක් සහිත දේශපාලන නායකත්වයක් හා දේශපාලනයක් සහිත ජනතා විමුක්ති පෙරමුණට එම දේශපාලන කළමනාකරීත්වයට මැදිහත් විය හැකියි. දැන් විශාලතම වෘත්තිකයන්ගේ සංවිධානය ජවිපෙ සමඟ එකතු වී සිටිනවා. ඔවුන් ජවිපෙ සමඟ එකතු වී සිටින්නේ හදන පාලනයේ තනතුරු බලාගෙන නෙවෙයි. රට ගොඩනැඟීමට කැපවී සිටින වෘත්තිකයන් වශයෙනුයි.

“අද ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. එසේ වී තිබෙන්නේ ජාතිකත්වයන් අතර අවිශ්වාසය හා සැකය වර්ධනය වන නිසයි. සිංහල හා මුස්ලිම් අන්තවාදය අප මෑතකදී අත්දැක්කා. මෙම තත්ත්වයට මුහුණ දිය හැක්කේ අන්තවාදය පරාජය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට පමණයි. ජවිපෙ දේශපාලන න්‍යායපත්‍රයේ කිසිදු ජාතිවාදයකට, ආගම්වාදයකට ඉඩක් නැහැ. නීතියේ විධානයේ ආධිපත්‍යය සහතික කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. අධිකරණයෙන් කට්ටි පනිමින් සිටින ගෝඨාභයලාට නීතියේ හා විධානයේ ආධිපත්‍යය තහවුරු කළ නොහැකියි. අපි මේ රටේ මහජනයාගේ මුදල් සතයක්වත් හොරකම් නොකළ මිනිස්සු. වංචාකාරී දේශපාලකයන් නොසිටින එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ජවිපෙ පාලනයක් යටතේ සැබෑ ලෙසම නීතිය ක්‍රියාත්මක වෙන රාජ්‍යයක් හදනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන් ආමන්ත්‍රණය කළ හැකි දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ බව සහතික කරනවා. දැන් මේ රටේ ජනතාවට අපි කියන්නේ අපට බලය දෙන්න කියන එකයි. ජනතාව අතේ තියෙන බලය ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න. මේ රටට ආදරය කරන ආණ්ඩුවක්, මහජනතාවගේ උවමනාකම් නියෝජනය කරන ආණ්ඩුවක්, මහජනතාවට තමන්ගේ යැයි හිතෙන ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”

මාතෘකා