අපි අද කළු ජූලිය සුදු කළා

 ඡායාරූපය:

අපි අද කළු ජූලිය සුදු කළා

අමාත්‍ය මංගල සමරවීර

වසර හතළිහකට ආසන්න කාලයක් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැමරූ කළු ජූලිය ‘සුදු ජූලිය’ බවට පත් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (06) මාතර පල්ලිමුල්ල ප්‍රදේශයේ ඉදි කළ සතොස මෙගා සුපිරි වෙළෙඳසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ඉතිහාසයේ වසර 36ක් 37ක් අපි ජූලි මාසය හැඳින්වූයේ කළු ජූලිය ලෙස. නමුත් අපේ රජය තීරණය කළා ඒක සුදු ජූලිය විදියට වෙනස් කරන්න. ඒ අනුව මේ ජූලි මාසේ මුල ඉඳලා අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුපට තවත් රුපියල් 2,500ක දීමනාවක් ලබා දෙනවා. අපි බලයට ආපු දවසේ පටන් දෙගුණයකින් විතර වැටුප් ඉහළ ගොස් තිබෙන රාජ්‍ය සේවකයන්ට මෙය තවත් සහනයක්. ඒ වගේම ජනාධිපති වැටුප් කොමිසමේ නිර්දේශ මත රාජ්‍ය සේවක වැටුප ඉදිරියේදී තවත් වැඩි වේවි. ඒ වගේම වසර 10ක් 15ක් තිස්සේ මැතිවරණ පොරොන්දු දීලා නොමඟ යැවුණු විශ්‍රාමික ජනතාවගේ වැටුප් විශමතා අපි මේ ජූලි මාසෙ ඉඳලා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව විකුණගෙන කමින් ජීවත් වුණු පාලනය අවසන් වුණත් වසර 20කින් ඔවුන්ගේ දීමනා වැඩි කරලා තිබුණේ නෑ. ගෙවල් කුලී දීමනාව, නිල ඇඳුම් දීමනාව සියයට 100 සිට 500 දක්වා මේ ජූලි මාසෙ ඉඳලා වැඩි කරලා තියෙනවා.

“රටේ එක පැත්තකින් යෝධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය හැදෙනවා, කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියට මුදල් වෙන් කරලා තියෙනවා. කතරගම දක්වා අධිවේගී මාර්ගය හැදෙනවා. නොවැම්බර් මාසය වෙද්දි අපට හැකි වෙයි කතරගම දක්වා අධිවේගී මාර්ගය විවෘත කරන්න. මහා සංවර්ධන ව්‍යාපෘති ඒ විදියට ඉදිරියට යද්දි ගම්පෙරළිය හරහා ගම සංවර්ධනය වෙනවා. අද මේ මුළු රටම වැඩබිමක් බවට පත් වෙලා තියෙනවා. රටම සංවර්ධන කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ රටේ මැතිවරණ කොට්ඨාස 160ටම එක කොට්ඨාසයකටම රුපියල් කෝටි 30 ගානේ සංවර්ධනය වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඒ අනුව රට පුරාම විවිධ සංවර්ධන ව්‍යාපෘති 86,000ක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පක්ෂ පාට භේදයක් අපි සලකන්නේ නෑ. ඒ මොකද සංවර්ධනයට පක්ෂ පාට භේදයක් නෑ.”

මාතෘකා