අපේක්ෂාභංගත්වයට පත් දේශපාලන අවතාර  රට තුළ ව්‍යාජ ඇමෙරිකානු භීතිකාවක් මවනවා

 ඡායාරූපය:

අපේක්ෂාභංගත්වයට පත් දේශපාලන අවතාර  රට තුළ ව්‍යාජ ඇමෙරිකානු භීතිකාවක් මවනවා

අමාත්‍ය මංගල සමරවීර

අපේක්ෂා භංගත්වයට පත් දේශපාලන අවතාර රට තුළ ව්‍යාජ ඇමෙරිකානු භීතිකාවක් මවාපාමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (30) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන දේශපාලන අවතාර ඉන්නවා. බොරු තොරතුරු මත පදනම් වී ඇමෙරිකානු භීතිකාවක් රට තුළ නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණයි. විශේෂයෙන්ම ඔවුන් මේ භීතිකාව පතුරවන්නේ ප්‍රධාන ගිවිසුම් තුනක් පදනම් කරගෙනයි. ශ්‍රී ලංකාවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර ඇති කරගෙන ඇති හමුදාමය සම්බන්ධතා ගිවිසුම (SOFA) සම්බන්ධයෙන් ඔවුන් අන්තවාදී මතයක් පතුරවමින් සිටිනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක පිටිපස්සේ ඉන්නෙ විමල් වීරවංශ වගේ නූගත් දේශපාලනඥයන් කිහිප දෙනෙක්. සමහර අයගෙ පුරවැසිභාවය තියෙන්නෙ ඔස්ට්‍රේලියාවේ, ස්විට්සර්ලන්තෙ, එහෙමත් නැත්නම් ඇමෙරිකාවේ. මමත් අවුරුදු 10ක් විතර විදේශගත වෙලා හිටපු කෙනෙක්. අපටත් ඕනෙ නම් තිබුණා ඒ රටවල පුරවැසිභාවය ගන්න. එහෙම රට පාවලා දුන්නෙ නැති අපට තමයි මේ ලංකාව දාලා ගිය අය අද දේශප්‍රේමී වෙලා කෑ ගහන්නේ. මෙහි නායකත්වය ගෙන වැඩ කරන්නෙ විමල් වීරවංශ. දකුණට අන්තවාදය හඳුන්වලා දීපු පිරිස.

"මේ අයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව තේරුම් ගන්න බැරි නිසාද මන්දා මේවායේ පිටු ගාන දිහා බලලා ඒවා භයානකයි කියල කියනවා. මේ (ACSA) ගිවිසුම 2007දී ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරපු නිසා පිටු දහය නම් භයානකකම අඩුයිලු. පිටු ගාණ වැඩි නම් භයානකයිලු. විමල් වීරවංශගේ පුංචි මොළේට තේරෙන්නෙ නෑ මේ ගිවිසුමේ ඇමුණුම්වල විස්තරයි සම්බන්ධීකරණය කරපු අයගෙ විස්තරයි මේ තියෙන්නේ කියලා. එයාලගෙ අරමුණ තමයි අපි අමාරුවෙන් ගොඩනඟා ගත්ත ප්‍රතිරූපය බිඳ දාන එක. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපේ ලොකුම අපනයන ගැනුම්කරු වන්නේ ඇමෙරිකාව. 2018 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 11,660ක් වුණ අපේ අපනයනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,000කට වැඩියෙන් අපනයනය කරලා තියෙන්නේ ඇමෙරිකාවට. එයිනුත් විශාලම ප්‍රමාණය ඇඟලුම්. ජාත්‍යන්තර තලයේදී විවිධ කාලවලදී ඇමෙරිකාව අපට විශාල වශයෙන් උදවු කරලා තියෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය මුලින්ම ජාත්‍යන්තර රටක් තහනම් කළා නම් ඒ ඇමරිකාව. ඒ 1997දී.

"විදේශ අමාත්‍යවරයා විදියට 2006දී මට පවරපු ලොකුම වගකීම තමයි සහශ්‍ර පහසුකම් අභියෝග සහයෝගීතාව හෙවත් මිලේනියම් චැලන්ජ් කෝපරේෂන් (MCC) ගැන කතා කිරීම. රාජපක්ෂ හවුලේ අජිත් නිවාඩ් කබ්රාල් එහි සාකච්ඡාවල ප්‍රධාන සම්බන්ධීකාරක විදියට පත් කළා. නමුත් රාජපක්ෂ රජයෙන් දිගින් දිගටම වුණු මානව හිමිකම් කඩකිරීම්, අතුරුදන් කිරීම් නිසා 2015 වෙනකම් අපට කිසිම විදියකට විදේශ ආධාර වැඩසටහනකට යන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි ජී.එස්.පී. ප්ලස් එකත් ඔය අන්තවාදීන් නැති කළා. මම මේ ඔවුන් විරුද්ධ ගිවිසුම් ගැන වචනයක් කියන්නම්. ලෝකෙ රටවල් 94ක් ඊට අත්සන් කරලා තියෙනවා. ඉන්දියාව, මලයාසියාව, තායිලන්තය, පිලිපීනය, ඇෆ්ගනිස්ථානය, කොරියාව වගේ රටවල්. ඉන්දියාවේ මෝදි අගමැතිතුමා රටට හානිකර ගිවිසුමක් පවත්වන්න කවදාවත් උදවු කරයිද? මේ ගිවිසුම් අත්සන් කළා කියලා හැම රටකම ඇමෙරිකන් කඳවුරු දාන්න බෑ. එහෙම දේකට අපි අත්සන් කරලා නෑ. MCC නැත්නම් සහශ්‍ර සහයෝගීතා වැඩසටහන යටතේ මේ වෙද්දි ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් අනුමත වෙලා තියෙනවා. ඒක ඇමරිකානු ප්‍රදානයක්. රාජපක්ෂ කාලෙ වගේ ගිනි පොලියට ණයට අරන් සුදු අලි සංවර්ධනේ වගේ මහා නාස්තියක් නෙවෙයි. ඉන් මිලියන 160ක් ප්‍රවාහන අංශයේ සංවර්ධනයට, තවත් 50ක් බස් නවීකරණයට, තවත් මිලියන 140ක් කෘෂි නිෂ්පාදන ප්‍රවාහන මාර්ග දියුණු කිරීමට.

SOFA ගිවිසුමට අපි අත්සන් කළේ 1995දී. රටවල් 100 විතර මේ ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. මේක පරිපාලනමය එකඟතාවක්. එහෙම නැතුව හිතුන ගමන් හමුදාවට එන්න බැහැ. මේ ගිවිසුම් ගැන කෑගහන රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කල්ලියට තිබුණේ ඕනෙ නම් මේවා අහෝසි කරලා දාන්න. එහෙම කළේ නෑ. 2007දී ආයෙත් ACSA ගිවිසුම අත්සන් කළා. භාෂාව දන්න ඕනෑම කෙනකුට මේ ගිවිසුම් කියවලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව බොරු කුමන්ත්‍රණ බිල්ලෝ මවලා ජනතාව මුළා කරන අයට කියන්න තියෙන්නේ පුංචි ළිඳේ මහ ගෙම්බා වෙලා ඉන්න ඒ ප්‍රකාශ ප්‍රමාණවත් කියලයි. උඹ නං මරු කියල කියයි ළිඳේ ඉන්න අනෙක් ගෙම්බො. මේ ගෙඹි න්‍යායන් හරි යන්නෙ නෑ”

මාතෘකා