ඒකීය රටකට හැමෝම එකඟ වීම මේ ආණ්ඩුවේ ජයග්‍රහණයක් : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

ඒකීය රටකට හැමෝම එකඟ වීම මේ ආණ්ඩුවේ ජයග්‍රහණයක් : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

දේශපාලන විසඳුමකට ළඟාවීමට මෙතෙක් නොහැකි වී තිබුණේ ඒකීය රාජ්‍යය පිළිනොගැනීම නිසා බවත් ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට අද සියලු දේශපාලන පක්‍ෂ ඒකීය රාජ්‍යය පිළිගෙන තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා (27) කළුතර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“දැන් මේ අය අපෙන් අහනවා, අපි මොනවද කළේ කියලා. අප කළ වැඩ රට පුරා පෙනෙන්නට තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ එම සංවර්ධන වැඩවලින් බොහෝමයක් විවෘත කිරීමට අවස්ථාව ලැබෙනවා. එවිට ඒ අයට අපි මොනවද කළේ කියා අවබෝධ කරගත හැකියි. දැන් අපි නැවතත් ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කරනවා. එමගින් විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කළ හැකියි. ආණ්ඩුව වැටෙන බවට එදා හඬ නැගුව අය අද බයවෙලා. මෙලෙස බයවී සිටින අය දැන් අපි රට බෙදනවා කියා චෝදනා කරනවා.

“අද තිබෙන දේශපාලන පක්‍ෂ කිසිවක් රට බෙදන්න යන්නේ නැහැ. රට බෙදන්න උවමනාවකුත් නැහැ. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා කතිකාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. සියලු පක්‍ෂ එකතු වී ව්‍යවස්ථාදායක සභාවක් පත් කළා. ඒ අනුව සියලු දෙනාම මේ සම්බන්ධව එකඟත්වයකට පැමිණිය හැකිද කියා සාකච්ඡා කිරීම සඳහා කමිටුවක්ද පත් කළා. අපිට ලැබෙන වාර්තා ව්‍යවස්ථාදායක සභාවට අප යොමු කරනවා. දේශපාලන පක්‍ෂ සහ අනෙකුත් අංශයන්ගෙන් ලැබුණු වාර්තා සියල්ල ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබෙනවා. මෙවැනි පසුබිමක මට පමණක් තනිව ව්‍යවස්ථාවක් හදන්න බැහැ. ව්‍යවස්ථාව අනුමත වීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3ගේ ඡන්දය ලැබෙන්න ඕන. අපේ මල්වත්තේ මහනායක ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් පරිදි එලෙස 2/3ක් තිබෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. එවැනි පසුබිමක රට බෙදනවා, රට කඩනවා කියා මට චෝදනා කිරීම වැරදියි.

“මල්වතු මහනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය ගැන අපේ අවධානය යොමුකර බැලිය යුතුයි. නමුත් ව්‍යවස්ථාව ගැන අප පුළුල් ලෙස සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලින් ප්‍රශ්න බොහොමයකට විසඳුම් සොයා ගැනීමට අපට හැකි වුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට සෑම දේශපාලන පක්‍ෂයක්ම ඒකීය රාජ්‍යය පිළිගන්නවා. මේ ස්ථාවරයට පැමිණීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි. මෙලෙස එක ස්ථාවරයකට අප පැමිණ සිටින නිසා ව්‍යවස්ථාව සැකසීම දැන් සිදු කළ නොහැකි වුණත් පසුව හරි කළ හැකියි. ඉතිහාසයේ අවස්ථා ගණනාවක් මේ සඳහා උත්සාහ කළත් ඒ එකම අවස්ථාවකින්වත් සාර්ථක වුණේ නැහැ. අපට එක ස්ථාවරයකට පැමිණීමට හැකි වුණේ නැහැ. එදා 1950 ජී. ජී. පොන්නම්බලම් මැතිතුමා එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වූ අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද? චෙල්වනාගගම් මැතිතුමා අපෙන් ඉවත්ව ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලන, ෆෙඩරල් පක්ෂය ආරම්භ කළා. ඊට පසු 1977දී ද්‍රවිඩ විමුක්ති පෙරමුණ ආරම්භ කළා. ෆෙඩරල් වෙනුවට වෙනම රාජ්‍යයක් ඉල්ලුවා.

“යුද්ධය අවසන් වුණාට පසුවත් නැවත ෆෙඩරල් ඉල්ලුවා. අගමැතිවරු, ජනාධිපතිවරු මැදිහත්ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ නමුත් ඒ කිසිදු අවස්ථාවක ඒකීය රාජ්‍යය පිළිගත්තේ නැහැ. රජිව් ගාන්ධි මැතිතුමාත් ඒකිය රාජ්‍ය පිළිගත්තා. නමුත් මේ අය ඒකීය රාජ්‍යය පිළිගත්තේ නැහැ. මේ රටේ දේශපාලන විසඳුමකට තිබුණු ලොකුම බාධාව එයයි. නමුත් දැන් දේශපාලන පක්ෂ හා ඒ මන්ත්‍රීවරු ඒකීය රාජ්‍යය පිළිගන්නවා.

මෙය අපි ලැබූ ජයග්‍රහණයක් නොවෙයිද? මේ දෙය අපට කරන්න හැකිවීම ගැන සතුටු විය යුතුයි. භෞමික අඛණ්ඩතාව පිළිගන්නා බව ඒ මන්ත්‍රීවරු අද ප්‍රකාශ කරනවා. එය තමා අපටත් අවශ්‍ය වී තිබෙන්නේ. අපි කියන්නේ පරමාධිපත්‍යය රජය සතුවිය යුතු බවයි. මීට ඉහතදී ෆෙඩරල් යටතේ පරමාධිපත්‍යය රජය හා පළාත් සභා අතර බෙදිය යුතුයි.

“මේ රටේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නත්, සංශෝධනය කරන්නත් පාර්ලිමේන්තු බලයත්, ජනමත විචාරණයත් අවශ්‍යයි. වෙන කාටවත් එය කරන්න බැහැ. ඒ ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට, මහනගර සභාවලට බලය ලබාදිය හැකියි. ඒ අයගේ ස්ථාවරය වන්නේ එයයි. මේ දේම තමා අපි කියන්නෙත්. මේ අනුව භෞමික අඛණ්ඩතාවත්, ප්‍රජාතන්ත්‍රවාදයත් පිළිගන්නවා. එහෙම නම් මීට වඩා තව මොනවද පිළිගන්න තිබෙන්නේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකීය රාජ්‍යය පිළිගන්නවාය කියා ඔවුන් කියනවා. එහෙම නම් දැන් අප කුමක්ද කළ යුත්තේ? තවදුරටත් බැණ වදිනවාද, දොස් කියනවාද, දැන් මෙය පිළිගන්නා නිසා අනාගතයේ විසඳුමක් ඇතිකර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. මේ අනුව ඉතිහාසයේ සිට මේ දක්වා කාටවත් කිරීමට නොහැකි වූ ජයග්‍රහණයක් අපි සියලු දෙනා එකතු වී ලබා ගත්තා. මේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ද්‍රවිඩ, මුස්ලිම් හා අනෙකුත් පක්ෂ එකතු වී ලබාගත් එකක් බව කිව යුතුයි.

“මේ සම්බන්ධව රණවිරු පවුල් කිහිපයකින් විමසා සිටියා. ඒ හැම පවුලකින්ම ප්‍රකාශ කළේ මෙවැනි ස්ථාවරයකට පැමිණීමට හැකිවීම ඉතාම හොඳ දෙයක් බවයි. යුද්ධයත් ඉවරයි. ඒකීය රාජ්‍යයත් පිළිගන්නවා. නමුත් ඒ අය වෙනම රාජ්‍යයක් ඇතිකර ගන්න සටන් කර 40,000ක් පමණ මිය ගිය පවුල්වලට ඒකීය රාජ්‍ය දැන් පිළිගන්නේ ඇයිදැයි වග උත්තර බැඳිය යුතුයි. එතැනදී අප මෙය ප්‍රතික්ෂේප කරන බව කිව්වොත් එය ප්‍රශ්නයක් නොවෙයිද?

“මේ තත්ත්වය මත රට බෙදනවා කියන කතාව තවදුරටත් ගෙනියන්න බැහැ. එහෙම නම් දැන් මේ අය උත්සාහ කරන්නේ ඒකීය රාජ්‍යය පිළිගැනීමේ අදහසින් ද්‍රවිඩ ජනතාව ඈත් කිරීමට කුමන්ත්‍රණ කර එකඟතාවකට පැමිණීම වැළැක්වීමටයි. මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට මේ වන තෙක් අමාරුම වැඩ කොටස ඉටු කළා. ආර්ථිකය රැක ගැනීමට අපට හැකි වුණා. ණයත් ගෙවනවා. සංවර්ධනයත් සිදු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කරනවා. ඒකීය ලංකාවක් කෙරෙහි සියලු පාර්ශ්වයන් එක්කර ගැනීමටත් හැකි වුණා. ඉතිහාසයේ බලයට පත් වූ කිසිදු ආණ්ඩුවකට මේ සා විශාල වැඩ කොටසක් කිරීමට හැකි වුණේ නැහැ. අද මේ රටේ ප්‍රශ්නවලට මුහුණදී සාර්ථක විසඳුම් ලබාදිය හැක්කේ මේ ආණ්ඩුවට පමණයි. දැන් මූලික ප්‍රශ්නය විසදා ගත් නිසා ඊළඟ අවුරුදු 5 තුළදී ශීඝ්‍රයෙන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආ යුතුයි. රටේ මූලික දේශපාලන ප්‍රශ්න හා ණය ප්‍රශ්නය විසඳා ගෙන රට ගොඩ ගැනීමට කැපවිය යුතුව තිබෙනවා. මේ ආණ්ඩුවට ඉතා සාර්ථකව ඒ ගමන ඉදිරියට යා හැකියි.”

මාතෘකා