පොලිස් දෙපාර්තමේන්තුව මහ රජාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තිබුණ යුගය අපි අවසන් කළා 

 ඡායාරූපය:

පොලිස් දෙපාර්තමේන්තුව මහ රජාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තිබුණ යුගය අපි අවසන් කළා 

රජයක් ලෙස රටේ ඇති කරපු නිදහස අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණය රජ්ජුරුවන්ට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න තිබුණ විදිහ, පොලිස් දෙපාර්තමේන්තුව මහ රජාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තිබුණ යුගය අපි අවසන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට විශාල කාර්ය භාරයක් තියෙනවා. එතුමා යටතේ අද පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා. අපක්ෂපාතීව සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක සොයා බැලීම එතුමාගේ වගකීමක්. අපි යහපාලනය ඇති කරන්න ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයේ අය වෙනුවෙන් නෙවෙයි. රට වෙනුවෙන්. මට සමහර අය කියනවා පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දය වෙලාවේ හොඳ හොඳ දේවල් දැක්කා කියලා. ඊටත් වඩා හොඳ දේවල් දැක්කා ඔක්තෝම්බර් 26 වෙනිදා. අපි පත් කළ ජනාධිපතිතුමා වෙනස් වෙන කොට අනිත් අය වෙනස් වෙන එක පුදුම දෙයක් නෙමෙයි. පසුගියදා සිදු වූ කුමන්ත්‍රණය නිසා අවුරුදු තුනක් ගොඩ නගපු දේවල් ආපස්සට ගියා. යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ රත්නපුර නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ග්‍රාමීය මාර්ග 17ක් ඊයේ දිනයේ (27) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළ අතර ඒ සඳහා රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක මුදලක් වැය කර තිබුණි. ඒ යටතේ රද්දැල්ල නුගමුන්න මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේද කීවාය.

මේ සියලු සංවර්ධන යෝජනා ක්‍රම අපි කරන්නේ අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන්. අපේ මුදල් ඇමතිතුමා මුදල් දීලා තියෙනවා. මේ සංවර්ධන යෝජනා සඳහා එන්න තිබුණු ඊළඟ මුදල් කොටස එන්න තිබුණේ නොවැම්බර් 21 වැනිදා. දේශපාලන කුමන්ත්‍රණය නිසා සමහර අය අගමැතිවරු පත් කරන්න බලය පැහැර ගන්න උත්සාහ කළා. බලය පැහැර ගන්න උත්සාහ කළ නිසා මේවා ඔක්කොම ඇණ හිටියා. මට අනුමත වෙලා තිබුණු රුපියල් ලක්ෂ 930ක් ඒවා ආපසු ගියා. ඒකට හේතු වුණේ බලයේ රැඳී සිටීමේ අවශ්‍යතාවය නිසා එක කණ්ඩායමකුත් තමන්ට තියෙන වංචා දූෂණ නඩු ඉවර කර ගන්න තවත් කණ්ඩායමකුත් එකතු වුනු නිසා කුමණ්ත්‍රණකාරීව අවුරුදු පහකට පත් කර ගත්ත රජය උදුර ගන්න උත්සාහ කළා. මම කියන්නේ ඕනම කෙනෙකුට අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මුහුණ දෙන්න සූදානම්.

අපිට වැඩිය ඡන්දයකින් බලය අර ගෙන අපිට වැඩිය හොඳට කරන්න පුළුවන් නම් අපි සන්තෝෂ වෙනවා මොකද බලය කියන එක සදාකාලීක නැහැ. 1994 ඉඳලා 2014 වසර 20ක් තුළ පක්ෂ පාට බලලා තමයි හැම දෙයක්ම කළේ. සමෘද්ධිය දෙන්නත් බැලුවේ මොකක්ද දේශපාලනය කියලා. සමෘද්ධි නිලධාරීනුත් පක්ෂය පාට බලලා තමයි සහනාධාර ලිවුවේ. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජන සවිය පටන් ගන්න කොට ඒවා හෙවුවේ නැහැ. දෙන්න තියෙන කෙනාට දුන්නා. 94න් පස්සේ 95 සමෘද්ධිය කියලා හදලා දුප්පත්කම පවත්වා ගෙන යන්න කටයුතු කළා. සමෘද්ධිය දෙන්න අවශ්‍යතාවය සුදුසුකම් දේශපාලනය නෙවෙයි අපි එය දිය යුතු කෙනාට දෙන්න ඕන. අපේ පක්ෂය තුළ ඉදිරි වසර පනහට සියයට වැඩ පිළිවෙළක් තියෙනවා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ඕනම වෙලාවක කවුරුත් කුමන්ත්‍රණය කරන්න ඕන නැහැ ඕනම අවස්ථාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි. විපක්ෂය දෙන්නෙත් නැති නම් ගෙදර ගිහිල්ලත් ඉන්න ලෑස්තියි. හැබැයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපේ රටට හැම සම්පතක්ම තියෙනවා. දේශගුණය හොඳයි නිදහස් අධ්‍යාපනය තියෙනවා, නිදහස් සෞඛ්‍ය තියෙනවා, තවත් පවුල් ලක්ෂ 14ක් සහනාධාර මත ජීවත් වෙනවා. ඇයි අපි දුප්පත්කම පවත්වා ගෙන යන්න කටයුතු කරන්නේ. ඇයි මේකට හේතුව. වැරැද්ද තියෙන්නේ කා ගාවද කියන එක අවබෝධ කර ගන්න ඕන.