ආණ්ඩුකාරයකුට හරියට වැඩ කරන්න ඔෆිස් ඇතුළෙ ඉඳල බෑ : දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

 ඡායාරූපය:

ආණ්ඩුකාරයකුට හරියට වැඩ කරන්න ඔෆිස් ඇතුළෙ ඉඳල බෑ : දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

අපිට අවශ්‍ය දැක්මක්. තව අවුරුදු පහකදි මොනවද කරන්නේ කියලා නෙවෙයි. දකුණු පළාත අපි හිතනවට වඩා වෙනස්. එහෙට තමයි ආයෝජකයෝ එන්නෙ. ඉඩම් හිඟයි. ආයෝජනයට මිනිස්සු බලාගෙන ඉන්නෙ. වරායක්, ගුවන්තොටුපළක් තියනවා. භාණ්ඩ හා සේවාවන් ඇති කරගන්න පුළුවන්. ගොඩබිමට වඩා අටගුණයක් විශාල මුහුදක් තියනවා. මේවා කො‍ෙහාමද රටේ මිනිසුන්ට අදාළ කරගන්නේ කියන එක තමයි අභියෝගය.

රජිත් කීර්ති තෙන්නකෝන් ජනතාව අඳුරන්නේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකු විදියටයි.කොහොමද ඔබේ අලුත් තනතුර?

අපි ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල පහුගිය අවුරුදු විස්සකට වැඩි කාලයක් වැඩ කරලා තියනවා. මැතිවරණවල වැඩ කරලා තියනවා. මානව හිමිකම් ගැන කතා කරලා තියනවා. දූෂණ ගැන කතා කරලා තියනවා. ඒ ඒ ක්ෂේත්‍රවල වැඩ කරලා තියනවා. ආණ්ඩුකාර ධුරය අලුත් පත්වීමක්. වැඩ බාරගෙන සතියක් විතර වෙනවා. අලුත් ගමනක් යන්න වෙනත් අභියෝග එක්ක හැඩගැහෙන්න උත්සාහ කරනවා

අනෙක් කාරණය මේ රටේ ජනතාව බලාපොරොත්තු වන මූලික දේවල් ගණනාවක් තියනවා. එක තමයි මේ රටේ මිනිස්සුන්ට හිතවත් රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීම සහ ආණ්ඩුකරණයක් ඇති කිරීම. ජනතාවට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. පළාත් සභා කියන්නේ ලොකු විෂය ක්ෂේත්‍රයක්. මේ රටේ පරිපාලනයෙන් 50%ක් අයිති වෙන්නේ පළාත් සභාවලට. ජනතාවට සමීප හැම ක්ෂේත්‍රයටම අධ්‍යාපනය, මහාමාර්ග, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර අදාළ වෙන්නේ පළාත් සභාවට. මේ ජනතාවට වැදගත් ක්ෂේත්‍රවල අර්බුද ගණනාවක් තියනවා. ජනතාවට අවශ්‍ය දේ, ජනතාවගේ දුක, ප්‍රශ්න විදියට විසඳන්න පුළුවන් හැමදේම කරනවා.

උතුරු සහ මධ්‍යම ආණ්ඩුකාරවරු පාරට බැහැලා ජනතාව අතරට ගිහින් ජනතාවගේ ගැටලු හොයනවා. අපි දැක්කා ඔබත් ජනතාව අතරට ගිහින් ජනතාවගේ සහ පළාතේ රාජ්‍ය ආයතනවල පවතින ගැටලු ගැන සොයා බලන අාකාරය. මෙම තීරණය ඔබ ස්වාධීනව ගත් එකක්ද?

මේ ප්‍රශ්න කාර්යාලවල ඉඳන් විසඳන්න බැහැ. අපි දැනගන්න ඕන ඇත්තටම වෙන්නේ මොකක්ද කියල. ඇත්තටම සිද්ධවෙන දේ ලිපිගොනුවල නෙවෙයි තියෙන්නේ. නිලධාරින්,මිනිසුන් වෙන් වෙන්නේ කොහොමද කියලා අපි හොයන්න ඕන. ඒක කාර්යාලයේ විතරක් ඉඳගෙන කරන්න බැහැ. මිනිස්සු අතරට යන්න ඕන. දකුණු පළාතෙ දිස්ත්‍රික්ක තුනක් තියෙනවා. දෙකක මූලික දේවල් බලලා තියනවා. අපි හිතනවට වඩා සමහර ප්‍රශ්න ඉතා සරලයි. වේගයෙන් විසඳන්න පුළුවන්. මිනිස්සුන්ට හරි දේ මොකක්ද කියලා හොඳට තේරෙනවා. දිර්ඝ කාලයක් නොතකා හැරි සමහර දේවල් තියනවා, සුළු දේවල්වලින් වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස කරන්න කාර්යාලවල ඉඳල බැහැ. ඒකට මහ පොළොවට බහින්න වෙනවා ඉතිං අලුත් ආණ්ඩුකාරවරු දැන් කරමින් ඉන්නේ මිනිස්සු අතරට ගිහිල්ලා ප්‍රශ්න විසඳන එක. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි.

දැනට දකුණු පළාතේ හඳුනාගෙන තිබෙන ගැටලු මොනවද?

දකුණේ මූලිකම ප්‍රශ්න ගොඩක් තියනවා. එකක් දකුණු පළාතේ ජනතාව අනෙක් පළාත්වලට ඇදිලා යන එක. දකුණු පළාත අධ්‍යාපනයෙන් අංක එක. අධ්‍යාපනයෙන් එක වුණාට මිනිස්සු දකුණු පළාතේ රඳවාගන්න ක්‍රමවේදයක් ලැබිලා නැහැ. දකුණු පළාත තමයි වැඩිම ඇබ්බැහිවීම්වලට ලක්වන පළාත. සෞඛ්‍යය, අධ්‍යාපනය, මත්ද්‍රව්‍ය ඒ වගේ ක්ෂේත්‍රවල ගොඩාක් ප්‍රශ්න තියනවා. දකුණු පළාත තමයි වේගයෙන් සංවර්ධනය වන හා වැඩිම ව්‍යාපෘති ගණනාවක් තියෙන පළාත. ඒ වගේම වැඩිම විවිධත්වයකින් යුතු පළාතත් දකුණ. ප්‍රශ්න එකින් එකට වෙනස්. අනෙක ජාතිකව සහ ජාත්‍යන්තරව බලපාන කරුණු කාරණා ඉතාම ඉක්මනින්ම විසඳිය යුතුව තිබෙනවා. ඒ කරුණු ඔක්කොම විවිධ පරාසවල මිනිස්සුන්ට අයත් දේවල්. හොඳට ඉගෙනගත්ත අය, නූගත් පසුබිමක් සහිත අය, ධනවත් සහ දුප්පත් පුද්ගලයින් ඒ අතර ඉන්නවා. ඒ වගේම ධිවර, සෞඛ්‍ය හා මාර්ග, අධ්‍යාපනය, සමාජ සේවා, ග්‍රාම සංවර්ධන වගේ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා.

පළාත් පාලන ආයතන සම්පූර්ණ විෂයක් විදියට තියෙන්නෙ. එතකොට මේ විෂයවලට මහජන නියෝජිතයෝ ඉන්නවා. අපිට කාටවත් එකාධිපතියෙක් විදියට වැඩ කරන්න බැහැ. මේ ආයතන එක්ක වැඩ කළ යුතුයි. අපිට තියෙන්නෙ මේ අයගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසරයක් හදන්න, පළාත් පාලන ආයතනවලට රැකවරණය දෙන තැනට ගිහින් ආණ්ඩු කරන්න, අපි උත්සාහ කරනවා. ගාල්ල සහ මාතර තියෛන ලොකුම ප්‍රශ්නය කසළ ප්‍රශ්නය. ඒ වගේම නගර අලංකරණය දිර්ඝ කාලයක් අතහැර දාල තියනවා. ජනතාව ඒ ක්‍රියාවට එකතු වෙන්නෙ නැහැ. හැබැයි අපි පියවර ගත්තට පස්සේ ඒ පියවර එක්ක මිනිස්සු ඉදිරියට එන ස්වරූපයක් තියෙනවා. අනෙක මධ්‍යම රජය එක්ක ගනුදෙනු නිරතුරුව සිදු කළයුතු වෙනවා. ඒ ගනුදෙනු අපිට ලේසි බව පේනවා. සංවර්ධන ව්‍යාපෘති ගොඩක් තියෙනවා. ඒවා පළාත් සභාව නොතකා හැර ක්‍රියාත්මක කර තිබෙනවා.

ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි රජයේ කාර්‍යාලවල වැඩ ප්‍රමාදය. මම දැක්කා ගාල්ලේ කම්කරු කාර්යාලය ඉස්සරහ පාන්දර හතරේ ඉඳන් පෝළිමක් තියනවා. ඒ පෝළිමේ හිටියා මාස හතරක දරුවෙක් වඩාගත්ත අම්ම කෙනෙක්. ඒ වගේම අවුරුදු හැටපහ, හැත්තෑව වයස්වල අය පාන්දර ඉඳන් ඉන්නවා. අනෙක රියැදුරු බලපත් ගන්න වෛද්‍ය සහතික ලබාදෙන තැන. එතන වර්ග අඩි 1200ක පමණ ප්‍රදේශයක දෙසීයකට වැඩි පිරිසක් තෙරපිලා ඉන්නවා දැක්කා. හරියට හැරෙන්නවත් බැහැ. තේ එකක් බොන්නවත් අඩුම ගානෙ වාඩිවෙන්න පුටුවක්වත් නැහැ. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියනවා. ධීවර, ගොවි ප්‍රශ්නත් එහෙමයි.

සේනා දළඹු ප්‍රශ්නයත් හම්බන්තොට, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්කවලට බලපාල තියනවා. මොනරාගලට දකුණු ගොඩබිමෙන් සම්බන්ධවන නිසා මේක ප්‍රශ්නයක්.මේ විදියට ගියොත් දකුණේ ආර්ථිකය බිඳ වැටෙන්නෙ පුළුවන්. මේවට විසඳුම් හොයන්න වෙලා තියනවා.

අපිට අවශ්‍ය දැක්මක්. තව අවුරුදු පහකදි මොනවද කරන්නේ කියලා නෙවෙයි. දකුණු පළාත අපි හිතනවට වඩා වෙනස්. එහෙට තමයි ආයෝජකයෝ එන්නෙ. ඉඩම් හිඟයි. ආයෝජනයට මිනිස්සු බලාගෙන ඉන්නෙ. වරායක්, ගුවන්තොටුපළක් තියනවා. භාණ්ඩ හා සේවාවන් ඇති කරගන්න පුළුවන්. ගොඩබිමට වඩා අටගුණයක් විශාල මුහුදක් තියනවා. මේවා කොහොමද රටේ මිනිසුන්ට අදාළ කරගන්නේ කියන එක තමයි අභියෝගය.

දකුණු පළාත් සභාව කියන්නේ ලංකාවේ දේශපාලනිකව ඝට්ටනයක් තියන පළාත් සභාවක්. මහ ඇමතිවරයා ඇතුළු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

 

ඉතාම විශිෂ්ටයි. මම අනෙක් ආණ්ඩුකාරවරුන්ට වඩා වාසනාවන්තයි. මහජන නියෝජිතයෝ දන්නවා මොකක්ද කරන්න ඕන කියලා. ඒ අය යෝජනා කරන දේවල් එක්ක ඇහුම්කම් දීලා මේ වැඩේ කරන්න පුළුවන්. ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් සියලුම දේශපාලන පක්ෂ එක්ක පක්ෂග්‍රාහී නොවන විදියට වැඩ කිරීම තමයි ආණ්ඩුකාරවරයකුගේ වගකීම.

අපි අවුරුදු එකොළහක් ලංකාවේ සියලුම දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරලා තියනවා. ලංකාවේ දේශපාලන පක්ෂ හැටක් විතර තියෙනවා. මෙතනදි ආණ්ඩුකාරවරයා දකින්නේ නිදහස් මිනිහෙක් ලෙස. ඒ නිදහස් බව මම ක්‍රියාවෙන් ඔප්පු කරලා තියනවා.

දකුණු පළාතේ උපාධි ගුරුවරු බඳවාගැනීම් ගැසට් කරලා ති‍ෙයනවා. ඔවුන්ෙගන් චෝදනාවක් තියෙනවා බඳවාගන්නා ගුරුවරුන් අදාළ විෂයට යොමු නොකර ප්‍රාථමික පන්තිවලට යොමු කරනවා කියල. ඒ සම්බන්ධව ඔබේ අදහස මොකක්ද?

දකුණු පළාතේ ගුරුවරුන් 900කට වැඩි පිරිසකගේ අඩුවක් තියනවා. එතකොට මේ අඩුව පුරවන්න ඕන ගුරුවරු නැහැයි කියලා අපේ දරුවො ඉගෙන ගන්නෙ නැතුව ඉන්න බැහැ. දෙමළ භාෂා ගුරුවරු 206ක් අඩුයි. ඒකට නඩුවක් තියෙනවා. 2014 හෝ 2013 ඉඳලා අපිට බැහැ ඒ ගුරු පුරප්පාඩු පුරවන්න. මේ දෙමළ භාෂා ගුරුවරුන්ගේ අඩුව පුරවන්නේ සිංහල මාධ්‍ය ගුරුවරු. අපිට ගුරුවරුන්ගේ උපාධිය මොකක්ද කියන එක නෙවෙයි වැදගත්. එයාලට උගන්නන්න පුළුවන්ද බැරිද කියන එකයි. ඒ අයට හැකියාවක් තියනවා නම් ඒක කරනවා ඒක ජනමාධ්‍යට විතරක් නෙවෙයි, ඕනෑම ක්ෂේත්‍රයකට අදාළයි. දැන් අර නඩුව ඉවර වෙනකම් දෙමළ භාෂාව ඉගෙන ගන්නෙ නැතුව ඉන්නද කියන්නෙ? ඒ නිසා ඒ ප්‍රශ්නය ඔබ කියන තරම් බරපතළ නැහැ.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තමයි ලංකාවේ හොඳම අධ්‍යාපන කලාපය. 2 මාතර 3 ගාල්ල.අපිට ඕන මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්නයි. අපි පහුගිය අවුරුදු හත තුළ හරි පාරේ ඇවිල්ලා තියනවා. හැබැයි අපි යන මේ ක්‍රමය වෙනස් කළොත් අපි දෙවැනියා වෙනවා. අපි එ්ක වෙන්න දෙන්නේ නැහැ.

සංවාදය සහ ඡායා [ෆර්හාන් නිසාම්දින්]

මාතෘකා