අගමැතිගෙ ඒකීය රාජ්‍ය කතාව සමහර මාධ්‍ය විකෘති කළා : පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

 ඡායාරූපය:

අගමැතිගෙ ඒකීය රාජ්‍ය කතාව සමහර මාධ්‍ය විකෘති කළා : පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

ව්‍යවස්ථාව ඒකීය බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සඳහන් කර තිබෙන බවත්, එය ඇතැම් සිංහල මාධ්‍ය ඕනෑකමින්ම වැරැදි ලෙස වාර්තා කොට තිබෙන බවත්, දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ කිසිදු වාර්තාවක රට බෙදා වෙන් කරන බවට කිසිඳු යෝජනාවක් නැති බව කී හෙතෙම එහි සඳහන් වන්නේ බෙදිය නොහැකි, නොබෙදුණු රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීම බවද කීය. පෙරේදා (21) යාපනයේ පැවැති උත්සවයක් අමතමින් සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

"අපට රට බෙදන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය බලතල පමණයි. අපි එක රටක ජීවත් වෙන්න කැමැතියි"යනුවෙන් පැවසූ හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“අපි 26 වැනිදා සිදුවීමට එරෙහිව අධිකරණයට ගියේ දමිළ ජනතාවට ලැබිය යුතු දේශපාලන ගැටලුවට විසඳුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ලබා ගැනීම අත්‍යවශ්‍ය නිසයි.

පළාත් සභාවලට ලබාදෙන බලතල නැවත පවරා ගත නොහැකි විය යුතුයි. පළාත් සභාවලට ලබාදී ඇති යම් බලතලයක් වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවට නීති පැනවිය නොහැකි විය යුතුයි. අපගේ ස්ථාවරයේ මෙම කරුණු දෙකම සඳහන් වෙනවා. ඒ නිසයි එහි ෆෙඩරල් ලක්ෂණ තිබෙන බව අප කියන්නේ. යම් අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වුවහොත් එය ආරක්ෂා කිරීමේ වගකීම කාටත් වඩා අපට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන අවස්ථාවක වැඩියෙන්ම මර්දනයට ලක්වන්නේ දෙමළ ජනතාව.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත වනු ඇද්දැයි සිතන කණ්ඩායම් දෙකක් ඉන්නවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්නේ නැති වෙයි කියා ඔවුන් සිතුවා. නමුත් ඒ සඳහා වන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා. එම වාර්තා භාෂා තුනෙන්ම තිබෙනවා. මම කියන දේවල් බොරු නම් කියන්න ඒකීය රාජ්‍ය හා ඔරුමිත්තනාඩු කියන සංකල්පයන්හි තේරුම් එහි පැහැදිලිව දක්වා තිබෙනවා.

එහි සඳහන් වුණා රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යවස්ථාව ඒකීය බව පාර්ලිමේන්තුවේ සඳහන් කර තිබෙන බව. නමුත් එය ඇතැම් සිංහල මාධ්‍ය ඕනෑකමින්ම වැරැදි ලෙස වාර්තා කොට තිබෙනවා. එවැනි ගති තිබෙන්නේ රාජපක්ෂ කණ්ඩායමටයි. ඔවුන්ට යම් බියක් තිබෙනවා මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එනු ඇති බවට. මම මීට ඉහත රැස්වීමකදී අවධාරණය කළේ අපි තවදුරටත් තනි රටක් පිළිබඳ සංකල්පය පිළිබඳ කතා නොකළ යුතු බවයි. අපි "ඔරුමිත්ත" කියන සංකල්පයේ සත්‍යව සිටිය යුතු බව පෙන්වා දුන්නා. මම ප්‍රකාශ කළ කරුණට විරුද්ධ කරුණු එම මාධ්‍ය ප්‍රචාරය කරමින් තිබෙනවා.

අපි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සහාය ලබා දෙන විට අපගේ ඉල්ලීම් මොනවාද කියා ඇහුවා. අපි ඉල්ලුවේ අවසන් වශයෙන් උතුරු - නැඟෙනහිර පළාත් පිළිබඳ තීරණ ගැනීමට කලින් අපගෙනුත් විමසන්න කියලයි. එහි ඇති වරද කුමක්ද? උතුරු - නැඟෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 18න් 16ක්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු. මම මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බාධා කරන්න එපා කියලා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ කිසිදු වාර්තාවක රට බෙදා වෙන් කරන බවට කිසිදු යෝජනාවක් නැහැ. එහි සඳහන් වන්නේ බෙදිය නොහැකි නොබෙදුණු රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමයි. අපට රට බෙදන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය බලතල පමණයි. අපි එක රටක ජීවත් වෙන්න කැමැතියි. මහින්ද රාජපක්ෂ මහතා සිය පොංගල් පණිවුඩයෙන් දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව කියා තිබුණා. එය අපි ඉතා අගය කරනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ මධ්‍යම ආණ්ඩුවට, පළාත් සභාවලට හා පොදු යන විෂයයන්වල බලතල සීමා මොනවාද කියා දක්වා නැහැ. එම සීමා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙ කාලයේ ඉදිරිපත් කෙරුණු සර්ව පාක්‍ෂික සමුළුවේ යෝජනා මුළුමනින්ම පිළිගන්න අප සූදානම්. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න සහභාගි වන්න කියා.”

මාතෘකා