පළාත් නවයේම ඡන්දෙ එක දවසේ තියන්න : ජී. එල්. පීරිස්

 ඡායාරූපය:

පළාත් නවයේම ඡන්දෙ එක දවසේ තියන්න : ජී. එල්. පීරිස්

පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පියවර ගත යුතු බවත්, ඒ සඳහා කළ යුත්තේ ඌව පළාත් සභාව වේලාසන විසුරුවා හැර පළාත් සභා නවයේම මැතිවරණ එක් දිනක පැවැත්වීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පෙරේදා(21) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා ඒ බව පැවසූ අතර, එහි දී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"අපේ පක්ෂයේ සම්පුර්ණ අවධානය යොමු කරන්නේ පළාත් පාලන මැතිවරණය දිනාගැනීම සඳහායි. දැනට පළාත් සභා තුනක් අකර්මණ්‍ය වෙලා අවුරුදු එකහමාරකට ආසන්නයි. අප්‍රේල් වන විට පළාත් සභා අටක් අහෝසියි. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් උල්ලංඝනය වෙලා තියෙන්නේ. පළාත් සභා ව්‍යාපෘති දියත් වෙන්නේ ඇස්තමේන්තු නැතිව, මහජන නියෝජිතයින්ගේ අනුමැතියකින් තොරවයි. ඒක සදාචාර විරෝධීයි වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මේක ඉවසුවා ඇති. අපි දැන් පැහැදිලි වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතුයි. අපේ හිටපු මහ ඇමැතිවරුන් වන උතුරු මැද පළාත් සභාවේ එස්. එම්. රංජිත් හා සබරගමු පළාත් සභාවේ මහීපාල හේරත් යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තීරණය කර තියෙනවා. මේ සතියේ අපේ නීතිඥවරු සමඟ නඩුව ගොනු කිරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුකරමින් තිබෙනවා. මේ පළාත් දෙකේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමටයි මොවුන් පියවර ගන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපති කිව්වා බළලාට ගෙජ්ජිය බැඳීම වෙන කවුරු හරි කළොත් හොඳ බව. මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමාගේ නඩු තීන්දුවක් වන, වරුණ කරුණාතිලකට එරෙහිව දිසානායක කියන නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා යථා කාලයේ මේ රටේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්ගේ සෘජු වගකීමක් තිබෙන බව. ඒ අයට අවශ්‍ය නිදහස, ස්වාධීනත්වය, මූල්‍ය ප්‍රතිපාදන ලබාදීලා තියෙනවා. ජනතාවගේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ කොමිසමටයි. එහෙම තියෙද්දිත් ගෙජ්ජිය වෙන කෙනෙක්ට බඳින්න කියනවා නම් අපි ඒකට සූදානම්. ඒ නිසයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තීරණය කළේ.

ආණ්ඩුව පැවැති ඡන්ද ක්‍රමය වෙනුවට අලුත් ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කළා. අනතුරුව ක්‍රමවේදයක් ඇරඹුවත් අලුත් ක්‍රමයක් ආදේශ කිරීමේ ඒ වැඩපිළිවෙල චේතනාන්විතව මඟහැරියා. සීමා නීර්ණය කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2018 මාර්තු අග. ඒ රජය ඉදිරිපත් කරලා සම්මත කරගත් පළාත් පාලන මැතිවරණ වාර්තාව මාසයක් ඇතුළත විවාද කරලා තුනෙන් දෙකේ සම්මතයකින් සම්මත කර ගත යුතුයි. එය 2018 අප්‍රේල් මාසයට පෙර කරන්න තිබුණත් අවසානයේ 2018 අගෝස්තු 24 වැනිදා විවාදය පවත්වලා රජයේ යෝජනාව රජයම පරාජය කළා. අනතුරුව කතානායකවරයා අගමැතිවරයාගේ මුලිකත්වයෙන් පස්දෙනෙක්ගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කරන්න ඕනේ. ඒකත් පත්කරන්න මාස හතරක් ප්‍රමාද වුණා. ඒ කමිටුවේ වාර්තාව මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕනේ වුණත් කළේ නැහැ. එහි කාලය දිර්ඝ කරන්න කතානායකට හෝ පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ. ඒ කියන්නේ අලූත් ඡන්ද ක්‍රමයක් ගෙන ඒමේ ක්‍රියාමාර්ගය දැන් අවසානයි. එහෙමනම් පැවැති ක්‍රමය අනුව මැතිවරණ පැවැත්වීමට විධිවිධාන සැලැස්විය යුතුයි.

එක රැයකින් අපිට ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් කියලා වරක් සුමන්දිරන් කිව්වා. අද දමිළ සන්ධානයේ සහාය නැතිව කිසිම පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න බැරි බවත් සුමන්දිරන් කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිරීති කුණු කූඩයට දමිමින් කැබිනට් මණ්ඩලයට ඉහළින් මණ්ඩලයක් පත්කරගෙන, කැබිනට් මණ්ඩලයට වඩා බලධාරී යන්ත්‍රණයක් නිසා දමිළ සන්ධානයේ අනුමැතියකින් තොරව කැබිනට් එකට කිසිදු තීරණයක් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිට ඔවුන් බල කළාලු උතුරේ සංවර්ධන විෂය අගමැති භාරගත යුතු බවට. උතුරේ සංවර්ධනයට නැඟෙනහිර සංවර්ධනයත් සම්බන්ධ කළාලු. දෙමළ සන්ධානයේ පටු අරමුණ ඉටුවන තුරු පළාත් සභා මැතිවරණය උතුරේ පැවැත්වීමට දමිළ සන්ධානය එකඟ වෙන්නේ නැහැ. ව්‍යාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙල මඟින් ඡන්ද පදනම සකසා ගන්නාතෙක් තමයි දමිළ සන්ධානය මේ විදියට පළාත් සභා මැතිවරණ කල් දැමීමේ වැඩපිළිවෙලට සහාය දක්වන්නේ.

දමිළ සන්ධානයේ අපේක්ෂාවන් සැලකිල්ලට ගන්නේ නැතිව පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පියවර ගත යුතුයි. ඒ සඳහා කළ යුතුව තියෙන්නේ ඌව පළාත් සභාව වේලාසන විසුරුවා හැර පළාත් සභා නවයේම ඡන්ද එක දවසක පැවැත්වීමයි. ඒකට අපේ විරෝධයක් නැහැ. ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයක් සමඟ පළාත් සභා මැතිවරණ පැවැත්වීමක් ගැන කියනවා. මේ මැතිවරණ එක්ක පළාත් සභා මැතිවරණය එකට ගැටගහන්න හදන්නේ මැතිවරණය කල් දැමීමේ උප්පරවැට්ටියක් විදියටයි. පාර්ලිමේන්තු මැතිවරණය එන්නේ 2020 වසර මැද. එවැනි මැතිවරණයක් එකට ගැටගැසීමේ සැබෑ අරමුණ පළාත් සභා මැතිවරණය කල්දැමීමයි. අවුරුදු එකහමාරක් විතර සර්වජන ඡන්ද බලය නොසලකා හැර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් පළාත් සභා මැතිවරණය දිනාගන්න ගතහැකි සෑම ක්‍රියාදාමයක්ම ගැනීම අපේ එකම අරමුණයි."

මාතෘකා