බෞද්ධාගමට හිමිව ඇති ස්ථානය එලෙසම ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් කැප වෙනවා : අමාත්‍ය කබීර් හෂීම්

 ඡායාරූපය:

බෞද්ධාගමට හිමිව ඇති ස්ථානය එලෙසම ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් කැප වෙනවා : අමාත්‍ය කබීර් හෂීම්

“මේ රටේ ඒකීයභාවයට හා බෞද්ධ ආගමට හිමිව ඇති ස්ථානය එලෙසම ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් කැප වෙනවා. රටේ ඒකීයභාවය සඳහා කිසිම වෙනසක් ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ. එමෙන්ම බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කරන්න අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ.

මේ බව අප රජය පැහැදිලිවම අවධාරණය කර තිබෙනවා.” යැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවැසීය. පෙරේදා (21) රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධනය ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක් වීමෙන් අනතුරුව පැවැති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ඒ දවස්වල එක්කෙනෙක් කිව්වා එයාව විදුලි පුටුවට ගෙනියන්න හදනවා කියලා, ඒක නිසා විදුලි පුටුවෙන් බේරන්න එයාට ඡන්දය දෙන්න කියලා කිව්වා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මහතාට සිද්ධ වුණා ඒ විදුලි පුටුවට යවනවායි කියපු තර්ජනය නැති කරලා බේරල දෙන්න. ඊට පස්සේ කිව්වා එයාට රට යන්න බැහැ, එයාව අල්ල ගනියි කියලා. ඒ වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කතා කරලා එයාව නිදහස් කර ගත්තා. දැන් අලුත් ගෝනිබිල්ලෙක් හොයනවා ආපහු බලයට එන්න.

බලයට ආවට පස්සේ අර කොන්ත්‍රාත්කාරයෝ, ජාවාරම්කාරයෝ, නියෝජනය කිරීමේ උවමනාව නිසා තමයි ආපහු බලයට එන්න හදන්නේ. මෙතෙක් කලක් මේ රටේ ඒකීයභාවය වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ රැසක් ජීවිත පූජා කළා. ඒවගේම එක්සත් ජාතික පාක්ෂිකයන් සිය ගාණනක් ජීවිත පූජා කළා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් කැප වෙනවා. මේ රටේ ජනතාව මුලා වෙන්න ඉඩ නොතබා, එක්සත් ජාතික පක්ෂය විවෘතවම නියම පණිවිඩය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා.” මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුසිතා විජේමාන්න, සුජිත් සංජය පෙරේරා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන නායකයින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

මාතෘකා