ඔක්තෝබර් -26 කුමන්ත්‍රණයෙන් කෝටි 1, 400ක් වටින ව්‍යාපෘති 43, 000ක් අඩාළ වුණා : රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

 ඡායාරූපය:

ඔක්තෝබර් -26 කුමන්ත්‍රණයෙන් කෝටි 1, 400ක් වටින ව්‍යාපෘති 43, 000ක් අඩාළ වුණා : රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

පසුගිය ඔක්තෝ්බර් 26 වැනිදා රට තුළ ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය නිසා කෝටි 1, 400ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 43, 621ක් පමණ අතර මග නැවතුණු බවත්, සංවර්ධන කටයුතු සඳහා ලැබීමට නියමිතව තිබූ ජාත්‍යන්තර අරමුදල් ශ්‍රී ලංකාවට අහිමිව ගිය බවත්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. පෙරේදා (21) රටේ ආර්ථිකය සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

“කුමන්ත්‍රණකාරී දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මූල්‍ය පහසුකම් ලබාදීමෙන් වැළකී සිටි විදේශීය රටවල් සහ ජාත්‍යන්තර ආයතන මේ වන විට ශ්‍රී ලංකා ධජය පිළිබඳ විශ්වාසයක් ගොඩනගාගෙන තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රෙජීමය දින 51ක් තුළ මේ රටට කළ විනාශයට අද මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ පොදු ජනතාවට සහ වත්මන් එක්සත් ජාතික පෙරමුණු රජයටයි. මේ දින 51 තුළ භාණ්ඩාගාර සුරැකුම්පත්, භාණ්ඩාගාර බිල්පත් මෙන්ම භාණ්ඩාගාර බැදුම්කර යන අංශයන්ගෙන් රුපියල් කෝටි 6, 700කට ආසන්න ප්‍රමාණයක් රටින් පිටතට ගියා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය රුපියල් කෝටි 100කින් පමණ පහළ බැස තිබෙනවා. දරාගත නොහැකි ණය කන්දකට යට කර ජනතාව පීඩාවට පත් කළ රාජපක්ෂ කල්ලිය අද රටේ ආර්ථිකයටත් මරු පහරක් එල්ල කර තිබෙනවා.

“අපේ රජය ව්‍යවස්ථානුකුලව වැඩ ආරම්භ කිරීමත් සමඟ සියලු දෙනා තුළ නැවත රජය කෙරෙහි විශ්වාසයක් ගොඩ නැඟෙමින් තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනගමින්, ණය බර අඩුකරමින්, ජනතා සහන ලබා දෙමින් රජය කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළට සහය ලබාදෙන්න විවිධ පාර්ශ්ව ඉදිරිපත් වී සිටිනවා. ඉන්දීය මහා බැංකුව ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 7, 286ක් ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව රුපියල් කෝටි 8, 287ක් ලබා දෙන්න එකඟතාව පළ කර තිබෙනවා. ජපානය රුපියල් කෝටි 33, 485ක් ලබා දෙන්න තීරණය කර තිබෙනවා. අද රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් තිබෙනවා. ඉතිහාසයේ වැඩිම ණය වාරිකය අපිට මේ වසරේ ගෙවන්න සිදු වුණා. එසේ වුවත් අපි ජනතාවාදී රජයක් ලෙස ජනතාවට ලබාදිය හැකි සහන සෑම අංශයකින්ම ලබා දෙන්න තීරණය කළා.

“සංවර්ධනය වෙනුවෙන් 2019 වසර සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටත් රජය අද කටයුතු කර අවසන්. ඒ අනුව විමධ්‍යගත අරමුදල් වෙනුවෙන් රුපියල් කෝටි 225ක් වෙන් කර තිබෙනවා. මීට අමතරව ගම්පෙරළිය වැඩසටහන සඳහා මේ වසරේ වෙන් කළ මුදල රුපියල් කෝටි 4, 800ක්, ග්‍රාමීය යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් කෝටි 1, 500ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. සමස්තයක් ලෙස 2019 වසරේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 6, 525ක ප්‍රතිපාදන මේ වන විටත් ආරම්භයක් ලෙස වෙන් කර අවසන්. දේශපාලන කුමන්ත්‍රණවලට මුහුණ දෙමින් සියලු අභියෝග මැද පසුගිය වසරේ සංවර්ධන ව්‍යාපෘති 51, 509ක් සඳහා 1989ක ප්‍රතිපාදන රජය විසින් වෙන් කරනු ලැබුවා.

මාතෘකා