සේනා දළඹුවාගෙන් වන හානියට කඩිනම් පියවර ගන්නවා

 ඡායාරූපය:

සේනා දළඹුවාගෙන් වන හානියට කඩිනම් පියවර ගන්නවා

අමාත්‍ය පී. හැරිසන්

සේනා දළඹු ප්‍රශ්නය කවුරුවත් කළ කුමන්ත්‍රණයක් නොවන බවත් එම දළඹුවාගෙන් සිදු වන හානිය වැළැක්වීමට කඩිනමින් කටයුතු කරන බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. සේනා දළඹුවාගෙන් හානි වූ ගොවි බිම් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාදිය හැකිද යන්න සොයා බැලීමට පසුගියදා (19) ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“දැනට සේනා දළඹුවා අධික ලෙස බඩඉරිඟු පත්‍රවලට හානි කරනවා. දැනට කරල්වලට වෙන හානිය අවම වෙලා තියෙනවා. තවම එහෙම ලොකු හානියක් නෑ. හැබැයි මේ අය අහනවා මේකට භාවිත කරන කෙමිකල් මොනවාද කියලා. අපිට පුළුවන් මිල අධික කෙමිකල් එකක් භාවිත කරන්න. බඩඉරිඟු තම්බා ස්වයං රැකියාවෙන් ජීවත් වෙන දස දහසක් මිනිස්සු, පාර දිගට බඩඉරිඟු තම්බලා විකුණන අය ගැනත් හිතන්න ඕන. අපි මේ දෙපැත්තම හිතන්න ඕන. මේ දළඹුවා මර්දනය කරන්නත් ඕන. මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට හානියක් නොවන්නත් ඕන. මේ ව්‍යාපාරය නැති වුණොත් කී දෙනෙකුගේ රැකී රක්ෂා අහිමි වෙයිද? මේ ඔක්කොම බලලා කටයුතු කරන්න ඕන. බොහෝ දෙනෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අමාත්‍යංශය වටලනවා, ඇමතියා සේනා දළඹුවා කන්න ඕන කියලා කියයි. මාව කෑවාට නම් කමක් නෑ. හැබැයි මේ සඳහා විසඳුමක් තියෙනවා නම්. ඊයේ එක මාධ්‍යවේදියෙක් ඇහුවා සේනා දළඹුවා එක්සත් ජාතික පක්ෂය කරපු කුමන්ත්‍රණයක්ද කියලා. මං කිවුවා එහෙනම් මං ඇවිල්ලා දවස් 10යිනෙ කියල. මේක එහෙම කවුරුත් කරපු කුමන්ත්‍රණයක් නෙමෙයි. සේනා දළඹුවා ඉන්දියාවේ, පකිස්ථානයේ, ඇමරිකාවේ ව්‍යාප්ත වෙච්ච සතෙක්. අපිට සියයට සියයක් මර්දනය කරගන්න බැරි වුණත් අපි උත්සාහ කරනවා කොහොම හරි මේ සතාගෙන් වෙන හානිය අවම කරගන්න.

“අපි බලන්න ඕන ඊළඟට බඩඉරිඟු අස්වැන්නේ අඩුවීමක් තියෙනවාද, ඒ ගොවීන්ට වෙච්ච හානිය මොකක්ද කියලා. අපි බලනවා පූර්ණ හානියක් වෙලා තියෙනවා නම් හදිස්සි ආපදා තත්ත්වයක් යටතේ වෙනත් බෝගවලට ලබාදෙන රක්ෂණ මුදල මේකටත් ගෙවන්න පුළුවන්ද කියලා. අපි බලන්නේ මේක මර්දනය කරලා, පාලනය කරලා ඒ අයට සහනයක් දීලා කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයන්න. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන්ද? අපි එක පක්ෂයකට, පාටකට දොස් කියලා හරියන්නේ නෑ. රට පාලනය කළ අපි ඔක්කොම මේකට වගකියන්න ඕනෙ. අපේ හරි ක්‍රමවේදයක් නැති නිසා, ප්‍රතිපත්තියක් නැති නිසා අපි අදටත් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන රටක් වුණත් බෝග විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. අපි ඒ ගැන රටක් විදිහට කනගාටු වෙනවා. කුරක්කන්, බඩඉරිඟු, මුං, කව්පි, උඳු, මිරිස් අපි පිටරටින් ගේනවා. හැමදාම ඉන්දියාවේ ගොවියන් පෝසත් කරනවා. හැබැයි අපේ සහනාධාර දිහා බැලුවොත් මේ තරම් සහනාධාර ලෝකේ තව රටකින් දෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පොහොර සහනාධාරය, සමෘද්ධිය ඒ ඔක්කොම දීලත් අපි අසමත් වෙලා තියෙනවා. එහෙනම් අපි ගත්ත තීන්දු තීරණවල වැරැද්දක් ඇති. ජාතික ප්‍රතිපත්තියක් එක්ක අපි ඉදිරියට යා යුතුයි. මේ සඳහා නිසි ක්‍රමවේදයක් ප්‍රතිපත්තියක් සැකසිය යුතු කාලය දැන් එළඹිලා. ඒ වෙනුවෙන් මම සහ මගේ නිලධාරීන් කැපවෙන්න සූදානම්. රටේ බහුතරයක් දෙනා සමස්තයක් හැටියට ගත්තොත් සියයට 85ක් පමණ සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට පොඩි හරි දායකත්වයක් දෙනවා. ඒකෙන් සියයට 30ක් 35ක් විතර පූර්ණ කාලීනව කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්නවා. සමස්ත රටින් බාගයක් විතර මේ කර්මාන්තයේ යෙදිලා ඉද්දි අපිට බැරි වෙලා තියෙනවා හරි ක්‍රමවේදයකට යන්න. කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනයක් විදිහට අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා කරන්නේ ධීවර විශ්‍රාම වැටුප අපි සක්‍රීය කරන්න ඕන‍. අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරන්න ඕන. ඒ වගේම ගොවි විශ්‍රාම වැටුපත් අඩුපාඩු හදාගෙන ඉදිරියට ගෙනයන්න ඕන. ගොවීන්ට කලට වේලාවට විශ්‍රාම වැටුප් ලබාදෙන්න ඕන. ඒක අපි කාගෙත් වගකීම.”

මාතෘකා