අපගේ ඉලක්කය 2025දී උදාගම් 20,000ක් ඉදි කිරීමයි

 ඡායාරූපය:

අපගේ ඉලක්කය 2025දී උදාගම් 20,000ක් ඉදි කිරීමයි

අමාත්‍ය සජිත් ප්‍රේමදාස

අපේ ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,684ක පමණ ඉදිකිරීම් අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 816ක් අප ඉදි කළ යුතුයි. මෙම ඉලක්කය ජය ගැනීම අභියෝගාත්මකයි. නමුත් කෙසේ හෝ එම ඉලක්කය ජය ගන්නා බව මා ප්‍රකාශ කරනවා. අපගේ අවසන් ඉලක්කය වන්නේ 2025දී රටේ උදා ගම්මාන 20,000ක් ඉදි කිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2,500ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වසර 2025 වන විට මෙරට උදා ගම්මාන 20,000ක් ඉදි කර සැමට සෙවණ ලබා දෙන බව බව මා සතුටින් ප්‍රකාශ කරනවා” යැයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 'යළි පිබිදුණු ගම් උදාව' වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදාගම වන 'සිරිසරණගම' ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) ජනතා අයිතියට පත්විය.

නව නිවාස 23කින් 'සිරිසරණගම' උදා ගම්මානය සමන්විත වන අතර ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 23කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල්ද පිරිනමා තිබේ. මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 212ක පමණ මුදලක් වැය කර තිබේ. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් 'සිරිසරණගම' උදාගම සමන්විතය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අද දින මෙම ගම්මානයේ පවුල් 23ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 69ක් වටිනා බිම් කොටස් 23ක අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500කට රුපියල් ලක්ෂ 500ක් වටිනා 'විසිරි නිවාස ණය' ලබා දෙනවා. පවුල් 50කට රුපියල් ලක්ෂ 100ක් වටිනා 'සොඳුරු පියස නිවාස ණය' ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙනවා. ප්‍රාදේශීය කලාකරුවන් 8 දෙදෙනෙකුට රුපියල් 80,000ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දෙනවා. 'සිරිසරණගම' උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප කටයුතු කරනවා. යහපාලන රජය බලයට පත්ව වසර හතරක කාලයක් වනවා. ඒ කාල වකවානුවේදී නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවාස ගැටලුවලින් පෙළෙන පවුල් 332,000කට ආධාර උපකාර කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 26,000ක මුදලක් වැය කර තිබෙනවා.”

මාතෘකා