පෞද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධීක්‍ෂණය විය යුතුයි : ඇමති චම්පික රණවක

 ඡායාරූපය:

පෞද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධීක්‍ෂණය විය යුතුයි : ඇමති චම්පික රණවක

අපේ රටේ තිබෙන අන්තර්ජාතික පාසල් කියන ඒවා දැනට පවත්වාගෙන යන්නේ සමාගම් හැටියට. ඒවා අපේ රටේ අධ්‍යාපන පනතට අනුව පාසල් ලෙස නෙමෙයි පවත්වාගෙන යන්නේ. ඒක බලගතු ප්‍රශ්නයක්. මගේ යෝජනාව ඒවා පෞද්ගලික පාසල් ලෙස නම් කරලා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතට පළමුවෙන්ම පත් කළ යුතුයි. ඒ වගේම දෙවනුව මේවයේ උගන්වන්නේ මොනවද කියා බැලිය යුතුයි” යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (08) හෝමාගම තාක්ෂණ නගරයේ පැවැති රුක් රෝපණ වැඩසටහනකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මෑතදී මේ අවට ඇතැම් පිරිසක් ‍සංවිධානය කළ තාක්ෂණ නගරයට විරුද්ධ විරෝධතා ව්‍යාපාරයක් තිබුණා. ඒ අය සමග කළ කතාබහේදී එක් මහත්මයෙකුයි, නෝනා කෙනෙකුයි නැඟිටලා කිව්වා පොල් ගෙඩි 4000ක් කඩපු තැන පාසලක් හදලා අවුරුද්දකට පොල්ගෙඩි 4000ක් නැති වූ එක පමණයි වුණේ කියලා. ඒ පාසල තමයි මේ. අද මෙහි සිසු සිසුවියන් 7000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙන ගන්නවා. මේ දරුවෝ සේරම වගේ බුද්ධිමත් පිරිසක්. මේ දරුවන්ගේ මොළ ගෙඩි 7000ද ලොකු, පොල් ගෙඩි 4000ද ලොකු කියලා තෝරාගන්න බැරි සමාජයක තමයි අපේ දූලා පුතාලා ජීවත් වෙන්නේ. ඒ ගැන අපි කනගාටු වෙනවා. කොහොම වුණත් අද අපේ මේ හයේ පන්තියේ, හතේ පන්තියේ දරුවෝ උසස් පෙළ පන්තියට යනකොට තව අවුරුදු හත අටකින් මේ කලාපය විශාල වෙනසකට ලක් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ගණනාවක් මේ ප්‍රදේශයට එනවා. පාරවල් පළල් වෙනවා. ජලය, විදුලිය එනවා. ඒ වගේම අපි මේ ප්‍රදේශයේ තිබෙන ඒ පරිසර පද්ධතිය ආරක්‍ෂා කර ගනිමින් තමයි මේ වැඩපිළිවෙළ අද මේ හෝමාගම තාක්ෂණ නගරයේ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ආරම්භ කළේ.

“හරිත වර්ණයෙන් හෙබි ගහකොළ මගින් අපට ජීවත් වීමට අවශ්‍ය වායුව, ජලය, ආහාර ලබා දෙනවා. ඒ නිසා මේ ගස්කොළන් රැක ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. ඊළඟට මිනිසුන් කාලා බීලා ඉවත දමන ජීවමය අපද්‍රව්‍ය, පොලිතීන්, ප්ලාස්ටික්වලට වඩා රථවාහනවලින්, කර්මාන්තෙශාලාවල තෙල්, ගල‍ෙඅඟුරු, ගෑස් දහනය මගින් නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් නිසයි ගෝලීය උණුසුම කියන ගැටලුව ඇති වී තිබෙන්නේ. එක් පැත්තක නියඟය, තවත් පැත්තක ගංවතුර. තවත් පැත්තක මුහුද ගොඩ ගලනවා, තව පැත්තක අයිස් කඳු දිය වෙනවා, තවත් පැත්තක ජීව විශේෂ වඳ වේගෙන යනවා. මේ මනුෂ්‍ය වර්ගයාත් මෙසේ වඳ වී යාමට නියමිත එක් ජීව විශේෂයක් බව මතක තබා ගත යුතුයි. මනුෂ්‍ය වර්ගයා රැක ගැනීමට මේ විෂ වායු පාලනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ අපෙන් නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් මේ ගස්කොළන් උරා ගන්නවා. එම ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මගින් ආහාර නිපදවනවා, ඔක්සිජන් නිකුත් කරනවා.

ඒ නිසා මනුෂ්‍ය ජීවිතය ඉදිරියට යාමට ගස්කොළන් ආරක්‍ෂා කර ගත යුතුයි. ඒ වගේම ගස් කපලා අපි ප්‍රයෝජනවත් දේවල් ලබා ගත්තාට කමක් නැහැ. හැබැයි ඊට සරිලන විදිහට අපි ගස් නිර්මාණය කර ගත යුතුයි. මෙයට වසර 40කට කලින් අපි පාසල් ගිය යුගය නෙමෙයි අද තිබෙන්නේ. අපි විශ්වවිද්‍යාලයට ගිය අවධියේ පරිගණකය මේ කාමරයක් පමණ විශාලයි. ඒ තුළ සිට තමයි අපි වැඩ කළේ. අද ඒ පරිගණකයට වඩා බලගතුයි මේ ස්මාර්ට් වොච් එක. මේ ස්මාර්ට් වොච් එකේ කැපෑසිටි එක වැඩියි. මෙයට වසර 50කට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ ඇපලෝ යානය මගින් නීල් ආම්ස්ට්‍රොන් හඳ මත පා තැබුවා. මේ වසර ඉතාම වැදගත් වසරක් වනවා, හරියටම වසර 50කට පසුව චීනය මගින් හඳේ අඳුරු පැත්තට යානයක් ගොඩබස්වනු ලැබුවා. ඒ යානය ගුවන්ගත කරන්න පරිගණකයක් භාවිත කළා. එම පරිගණකයට වඩා මේ ස්මාර්ට් ෆෝන් එක බලවත් බව මතක තියා ගන්න. ඔබ සියලු දෙනාම ජීවත් වෙන්නේ අලුත් ලෝකයක. අපි බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාම මේ තාක්ෂණ නගරයේ අනාගත විද්‍යාඥයන් බවට පත් වෙලා මේ රට ඔදවත් තෙදවත් බලවත් රටක් බවට පරිවර්තනය කරයි කියලා.”

මාතෘකා