ශ්‍රීලනිපය හැර ගිය අය  යළි ගෙන්වන මෙහෙයුමක්

 ඡායාරූපය:

ශ්‍රීලනිපය හැර ගිය අය  යළි ගෙන්වන මෙහෙයුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගොස් සිටින සියලු කණ්ඩායම් ඒකරාශී කරමින් පක්ෂය ගොඩ නැගීමටත්, එමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සෙසු පක්ෂ ඒකරාශී කිරීමටත් අපේක්ෂා කරන බව ඊයේ (06) මල්වතු මහ විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍යයට පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් භාර දුන් තනතුර මධ්‍යම කාරක සභාව ඒකමතිකව අනුමත කළ බවත්, මීට පෙර පක්ෂය අතහැර අලුතින් පක්ෂ බිහි කළ පිරිස් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ බවත් මහලේකම්වරයා පැවසීය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනපති ධුරයට පත්වූයේද ඒ ආකාරයෙන් බව කී මහලේකම්වරයා, පක්ෂය හැරගොස් සිටින සියලු කණ්ඩායම් ඉදිරියේදී යළිත් පක්ෂය හා එක්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවද අවධාරණය කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම අයෙකු මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතු නොවන බවත්, ශ්‍රී ලනිපයේ බලාපොරොත්තුව වන්නේ එම පක්ෂය ප්‍රමුඛ අනෙක් පාර්ශ්ව සමග යන පුළුල් සන්ධානයක් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා 'රැස' කළ විමසීමකදී පැවසීය.

[අසේල කුරුළුවංශ] [රසිකා හේමමාලි]

මාතෘකා