2019 වසර දේශයේ හැරවුම් ලක්‍ෂ්‍යයයි

 ඡායාරූපය:

2019 වසර දේශයේ හැරවුම් ලක්‍ෂ්‍යයයි

අමාත්‍ය පාඨලී චම්පික

මේ වසර තුළදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි. එය තීරණාත්මක වෙනසක් සිදු කෙරෙන මැතිවරණයක්. ඒ වගේම ජනාධිපතිවරණයට පෙර හෝ පසු, එසේ නැත්නම් ජනාධිපතිවරණයත් සමඟම මහා මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට නියමිතයි. මේ මඟින් ඉදිරි දශකය දක්වා දිවයන දේශපාලනයේ හැරවුම් ලක්‍ෂ්‍යය 2019 දී උදාවන බව ඉතා පැහැදිලියි” යැයි

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (31) සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“2019 වර්ෂය අපේ රටේ ආර්ථිකය පැත්තෙන් ගත්තොත් සුබවාදී තත්ත්වයක් උදා කරන්නේ නැහැ. ලෝකය පැත්තෙන් ගත්තත් එහෙමයි. අපට අතිවිශාල ණය කන්දක් ගෙවීමට තිබෙන්නේ 2019 වසරේ. විශේෂයෙන්ම ඒ වසරේදී ලෝක ආර්ථිකයේත් වර්ධනය අඩු වීමක් අපේක්‍ෂා කරනවා. ඒක ලෝක වෙළඳාමටත්, එමගින් අපගේ අපනයන ආර්ථිකයටත් බලපෑමට නියමිතයි. මේ වසරේ අපට තිබෙන ඒ බලගතු දේශපාලන අභියෝගය ජයගන්න නම් අපි මූලික කරුණු 03ක් දෙස අපේ අවධානය යොමු කළ යුතුයි. එකක් තමයි මේ රටේ දුගීභාවය හා විරැකියාව ගැන තිබෙන බොල් සටන් පාඨ වෙනුවට ඇත්තටම මේ රටේ අතිශය පීඩාවට පත්ව සිටින, අතිශයින්ම දුක් විඳින, මිනිස් දුහුවිලි බවට පත් කොට තිබෙන ජන කණ්ඩායම් එයින් සම්පූර්ණයෙන්ම මුදාගැනීම අපගේ අරමුණ කර ගත යුතුයි. නාගරික වශයෙන් ජීවත්වන පැල්පත්වාසීන් ඒ වගේම විකලාංග සහිත පුද්ගලයන්, වැඩිහිටියන්, යාචකයින්, දරුවන්, ලිංගික වහලුන් මේ ආදී වශයෙන් මේ සමාජයෙන් සැලකිය යුතු පිරිසක් සමාජයෙන් පිටමං කොට මිනිස් දුහුවිලි බවට පත් කර තිබෙනවා. අප විසින් දේශපාලන, ජාති - ආගම්, කුල - භේදවලින් තොරව අවධානය යොමු කළ යුතුයි මේ මිනිස් දුහුවිලි ශක්තිමත් කිරීමට, බලාත්මක කිරීමට, ඔවුන්ට මිනිසත් බව ලබාදීමට.

“ඊළඟට මේ රටේ දේශපාලනයේ ඉතාම වැදගත් සහ මූලික ක්‍රියාදාමය විය යුත්තේ මේ රටට කුසලතාවාදය හඳුන්වාදීමයි. අද මේ රටේ වෘත්තීය ක්‍ෂේත්‍රය ගත්තත්, කලා ක්‍ෂේත්‍රය ගත්තත්, ක්‍රීඩා ක්‍ෂේත්‍රය ගත්තත්, වෘත්තීය ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත්තත් හැම ක්‍ෂේත්‍රයකම කුසලතාවට විශාල ඉඩකඩක් ලැබිලා තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍යයන් අපට සර්ව ජන ඡන්දය ලබාදීලා 1931දී රටේ ප්‍රජාතාන්ත්‍රික මහජන නියෝජිතත්වය ඇති කළත් ඒ කාලයේ මේ රටේ දේශපාලනයට පැමිණි පවුල්වල පිරිසම තමයි අදටත් ලංකාවේ පාලක පන්තිය හැටියට ඉන්නේ. මේ වෙනුවට කුසලතාවෙන් පිරුණු පිරිස්, කුසලතාවට මුල්තැන දෙන සමාජයක් අපට ඇති කරගන්න පුළුවන් නම් මේ රටේ දේශපාලනය, අනෙකුත් ක්‍ෂේත්‍ර වගේම පැහැදිලි ප්‍රභාමත්, ශක්තිමත් දේශපාලන කරළියක් වනවාට කිසිදු සැකයක් නැහැ.

“තුන්වන කාරණය පරිසර සංරක්‍ෂණය. පසුගිය වසර 200ක පමණ කාලය තුළ විශේෂයෙන්ම කාර්මික විප්ලවයෙන් පසු අපේ මහ පොළොවට මනුෂ්‍යයා විසින් කරන ලද අපරාධවල භයානක ප්‍රතිඵල දැන් අපට ලැබෙමින් තිබෙනවා. පස දූෂණය වෙලා, වායුව දූෂණය වෙලා, ජලය දූෂණය වෙලා, ඒ වගේම විශේෂයෙන්ම තාප දූෂණය නිසා ගෝලීය උණුසුම ඉහළ යාමෙන්, අයිස් කඳු දියවීමෙන්, සාගර ජලය ඉහළට ගමන් කිරීමෙන්, ජීවී විශේෂ වඳ වී යෑමෙන් භයානක ප්‍රශ්නයකට අපි මුහුණ දී තිබෙනවා. මේ භයානක ප්‍රශ්නය කොච්චරක්ද කියනවා නම් ඊළඟ අවුරුදු 50 ඇතුළත මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම තවදුරටත් තිබෙනවාද නැද්ද කියන ප්‍රශ්නයටම අප අද මුහුණ දී තිබෙනවා. ගෝලීය ක්‍රමවේදය මත ශක්තිමත් තිරසර සංවර්ධන පදනමක සිට ගෝලීය සම්මුතීන් ගොඩනඟා ගැනීමට අපේ රට ගමන් කළ යුතු වෙනවා.

“මෙන්න මේ ඉලක්ක තුන - මිනිස් දුහුවිලි මිනිසුන් බවට පත් කිරීමට, රට පුරාම කුසලතාවාදය දේශපාලනය තුළට ගෙන ඒමට සහ තිරසර සංවර්ධන ඉලක්ක ගොඩනඟා ගැනීමට - 2019 වසරේ පැවැත්වෙන තීරණාත්මක මැතිවරණවලදී අපි එකට එකතු වෙමු. දේශප්‍රේමී ජනතාවක් හැටියට, ජාති මාමකයින් හැටියට, සියලු ආගම්වලින් සෑම කෙනාටම සමානව ලැබී තිබෙන ආගමික අයිතීන් ආරක්‍ෂා කර ගනිමින්, විශේෂයෙන්ම බෞද්ධ ධර්මය පදනම් කරගත් ඒ සමානාත්මතාවාදය සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑර පතුරුවාලීමට අපි මේ අභියෝගාත්මක 2019 වසර යොදා ගනිමු.”

මාතෘකා