කතා පැත්තකින් තියලා ඡන්දය තියන්න : පා.ම. අනුර ප්‍රියදර්ශන යාපා

 ඡායාරූපය:

කතා පැත්තකින් තියලා ඡන්දය තියන්න : පා.ම. අනුර ප්‍රියදර්ශන යාපා

වත්මන් රජය සියලු මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දමන්නට උත්සාහ කරන බවත් සියල්ලටම චෝදනා කරමින් සිටින මන්ත්‍රීවරුන් කළ යුත්තේ චෝදනා කරමින්ම සිටිනවා වෙනුවට මැතිවරණයකට යාමට අත උස්සා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට සහාය වීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (25) සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“මේ සියලු නාටකවල අවසානයේ රටේ ආර්ථිකය දුර්වල වෙලා අභ්‍යන්තර පාලනය බිඳවැටෙන එකයි වෙන්නේ. ජනතාව ගැන තේරුම් ගන්නේ නැහැ. ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගන්නේ නැහැ. එජාපයේ ඉන්න, චෝදනා කරන මන්ත්‍රීවරුන් කරන්න ඕනෙ චෝදනා කරනවා වෙනුවට තමන්ගේ අත ඔසවලා මැතිවරණයකට යන එකයි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය බරපතළයි. අගමැති නිතරම 19 වැනි සංශෝධනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ස්වාධීන කොමිෂන් සභා නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන බව එතුමා පුන පුනා කියනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය මොකක්ද? මැතිවරණ කලට වෙලාවට පැවැත්වීම. අපි නියමිත වේලාවට මැතිවරණ පවත්වලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ ජනතාවගේ නිදහසත් ආරක්ෂා කරලා තියෙනවා. මේ රජය බලයට පත්වුණුදා ඉඳලාම මේ දක්වා කතා කරන්නේ මැතිවරණ නොපවත්වා සිටීම ගැනයි. ප්‍රාදේශීය සභා මැතිවරණය වසර තුනක් කල් දැම්මා. පළාත් සභාවලටත් ඒකමයි කළේ. දැන් මහ මැතිවරණයත් කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමන්නයි උත්සාහ කරන්නේ.

මුළු රටම පාතාලය විසින් වෙළාගනු ලැබ තිබෙනවා. හැමදාම නොයෙකුත් අත්අඩංගුවට ගැනීම් සිදුවෙනවා. නමුත් ක්‍රියාකාරකම් නැවතිලා නැහැ. මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අහුවෙන ප්‍රමාණය වසරින් වසර වැඩි වෙනවා. මේවා ලංකාවට එන්නේ කොහොමද, කවුද ගෙනාවේ, කියන දේ හෙළි වෙන්නේ නැහැ. අපි මේවා ගේන්නේ කවුද කියන එක දැනගත යුතුයි. මේ සම්බන්ධයෙන් රටේම අවිනිශ්චිතභාවයක් ඇති වෙලා. දැන් පාර්ලිමේන්තුවටත් ඇවිත්. අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා කියලා පටන් අරන් දැන් කියනවා විපක්ෂයේත් ඉන්නවා කියලා. මේ තත්ත්වය රටක ප්‍රජාතන්ත්‍රවාදයට අගුණයි. පාර්ලිමේන්තුවක් තුළ මෙවැනි දේ පාවිච්චි කරන පුද්ගලයින් ඉන්නවා නම් සහ ඒවා හෙළි කරන්න මැළිකමක් දක්වනවා නම් ඒක ප්‍රශ්නයක්. ලංකාවේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තොත් විතරයි අත්අඩංගුවට ගන්න පුළුවන්. පාවිච්චි කළා කියලා අත්අඩංගුවට ගන්න බැහැ.

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න අවශ්‍යයි. මාධ්‍ය වාර්තා කරලා තියෙනවා පොලිස් නිලධාරියෙක් ලවා විපක්ෂයේ මන්ත්‍රීවරයකුට මත්ද්‍රව්‍යක් දෙන්න හදන බව. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම වගේම හඳුන්වාදීමත් වරදක්. මේ තත්ත්වය බරපතළයි. පොලිස්පතිවරයා හා රජය මේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු කිව යුතුයි. රටේ ආර්ථික, සමාජයීය වගේම සංහිඳියාව දුර්වලයි. අපි 1971 තරුණ නැඟිටීමෙන් 88/89 භීෂණය, තිස් අවුරුදු යුද්ධය වගේ දේවල් නිසා ජීවිත නැති වෙන හැටි අපි දැක්කා. මහින්ද රාජපක්ෂ සමයේ යන්තම් රටේ පිබිදීමක් වුණා. දැන් යුද්ධයට සහාය දීපු රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. කරන්නාගොඩ මහතා නාවික හමුදාපති සමයේ

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට පලා යන්න ඉඩ දුන්නෙත් නැහැ. ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ජීවිත දානය දීලා ජීවත්වෙන්න අවස්ථාවත් උදාකරලා දුන්නා. මේ රටේ කුරිරු යුද්ධයක් නිමා කරපු රණවිරුවන්ට චෝදනා කරමින් ජිනීවා කොටි හිතවාදීන් පිනවීම සුදුසු නැහැ. රජය ඇමරිකාව එක්ක එකතු වෙලයි ජිනීවා සමුළුවට යෝජනාව ඉදිරිපත් කළේ. එවැනි දෙයක් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. ලංකාවේ අපරාධවලට සම්බන්ධ අයත් එක්ක එක මේසෙ වාඩිවෙන්න තරම් අපේ දේශපාලනඥයෝ සැහැසි වුණා. ඇමරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වෙලා තියෙද්දිත් අපි එහිම එල්ලී සිටිනවා.”

මාතෘකා