අපි ඉදිරියේදී පෙරළන්න බැරි පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා : ඇමති පාඨලී චම්පික රණවක

 ඡායාරූපය:

අපි ඉදිරියේදී පෙරළන්න බැරි පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා : ඇමති පාඨලී චම්පික රණවක

"එළැඹෙන මහ මැතිවරණයෙන් අපි බලාපොරොත්තු වෙනවා පෙරළන්න බැරි, පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනඟන්න. මෙතනයි අපේ දේශපාලන ඉදිරි ගමන් මඟ තියෙන්නෙ.” යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) බුලත්සිංහල සතිපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම කටයුත්තට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරු ඇතුළු මහජන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අපට අවශ්‍යයි ඉදිරියේදී වැනෙන්නෙ නැති ආණ්ඩුවක්. මේ වසරේ ඔක්තෝබර් මාසේ 5 වැනිදායින් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් මිත්‍රවරුණි. ඔය පළාත් පාලන, පළාත් සභා මැතිවරණ තිබුණට රටක රාජ්‍ය බලය, ආණ්ඩු බලය තීරණාත්මකව මාරු වෙන්නේ ජනාධිපතිවරණයෙන්. ඒ අනුව මේ වසරේ එම ජනාධිපතිවරණය පැවැත්වෙනවා. 2020 ජනවාරි 08 වෙනිදාට කලින් අලුත් ජනාධිපති කෙනෙක් ආ යුතුයි. අන්න ඒ සඳහා අපි අද ජාතික ප්‍රජාන්ත්‍රවාදී සන්ධානය නමින් පුළුල් සන්ධානයක් ඇතිකර ඒ පුළුල් සන්ධානයෙන් මේ රටේ ඊළඟ ජනාධිපති හැටියට ශක්තිමත් අපේක්‍ෂකයෙක් ගේනවා. ඒ ජනාධිපතිවරණය අවසන්වූ වහාම මහ මැතිවරණ කැඳවනවා. ඒ මහ මැතිවරණයෙන් අපි බලාපොරොත්තු වෙනවා පෙරළන්න බැරි, පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනඟන්න. මෙතනයි අපේ දේශපාලන ඉදිරි ගමන් මඟ තියෙන්නෙ.

ඒ නිසා අද පොහොට්ටුවේ කට්ටියට පවුලෙන් පිට ජනාධිපති කෙනෙක් නැහැ. පවුලෙන් පිට අගමැති කෙනෙක්, කථානායක කෙනෙක්, මුදල් ඇමති කෙනෙක් නැහැ. නමුත් මේ පැත්තේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට ඒ සඳහා දක්ෂ, පක්ෂකම් තිබෙන අති විශාල පිරිසක් ඉන්නවා. මේ වේදිකාවේ ඉන්නේ එවැනි පිරිස්. ඒක නිසා අපි ජනාධිපතිතුමාට කියනවා අප විසින් එතුමාට ලබා දෙන ලද ජනවරම එතුමා කඩ කළා. ඒ නිසා දැන් කළයුතු වන්නේ මේ 2019 ජනවාරි 08 වැනිදායින් පසුව ඕනම වෙලාවක ජනාධිපතිවරණය කැඳවීමයි. එය කළ හැකියි. ඒ නිසා වහාම ජනාධිපතිවරණයක් කැඳවන්න. අර මැතිවරණ, මේ මැතිවරණවලින් ඵලක් නැහැ. රටට අද අවශ්‍ය ජනාධිපතිවරණයක්. ඒ ජයග්‍රාහක ජනාධිපතිවරයා සමඟ අලුත් ගමනක් යන්න මේ රට සූදානමින් සිටිනවා.”

මාතෘකා