දේශීය වෙළෙඳපොළේ හිරවී ආර්ථිකය ගොඩ ගන්න බෑ

 ඡායාරූපය:

දේශීය වෙළෙඳපොළේ හිරවී ආර්ථිකය ගොඩ ගන්න බෑ

මගේ බලාපොරොත්තුව ඉදිරි වසරවලදී අතේ ඇති මුදල දෙගුණ කිරීමයි

ඒකට ශ්‍රමයෙන් හෝ දැනුමින් රැකියා ගේනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 

ශීඝ්‍ර ආර්ථික විපර්යාසයකින් ශිල්ප දැනුම පදනම් කර ගත් ලෝක වෙළෙඳපොළේ තරඟ කළ හැකි ආර්ථිකයක් ඇති කර තමන්ගේ අතේ ඇති ආදායම දෙගුණ කිරීමට මීළඟ අවුරුදු කිහිපයේදී බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තමන්ට දැන් ඇති එකම බලාපොරොත්තුව ශ්‍රමය හෝ දැනුම පදනම් කරගනිමින් හොඳ රැකියාවන් ලබා ගැනීම බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (24) උස්සාපිටිය රිවිසඳ මහා විද්‍යාලයේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ලත් උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල, පරිපාලන ඒකකය හා විදුහල්පති නිල නිවාසයත් විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“අපිට කාලයක් තිබුණා ඇඟලුම් කර්මාන්තවලින් හා ශ්‍රමය තිබෙන කර්මාන්තවලින් දියුණු වෙන්න. ඒ වේතන දිහා බලනවා නම් අද අපි දකිනවා අපිට වඩා අඩු වේතන බංග්ලාදේශයේ තිබෙනවා. අපිට වඩා අඩු වේතන මියන්මාරයේ තිබෙනවා. අපිට වඩා අඩු වේතන කම්බෝජියාවේ තිබෙනවා. අපිට වඩා අඩු වේතන වියට්නාමයේ තිබෙනවා. අපි ඒ රටවල් සමඟ තරඟ කරන්න අපේ වේතන අඩු කරනවාද? අපිට ඒක කරන්න බැහැ. අපේ කර්මාන්ත ශාලාවලට, අපේ සංචාරක ව්‍යාපාරයට වේතන අඩු කළොත් මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. එහෙමනම් මොකක්ද විකල්පය? එකයි තියෙන්නේ. අපි මතක තියා ගත යුත්තේ අපේ එකම විකල්පය වන්නේ අපේ ශ්‍රමය පදනම් වූ ආර්ථිකයෙන් ශිල්ප දැනුම පදනම් වුණු ආර්ථිකයකට, තාක්ෂණ දැනුම පදනම් වුණු ආර්ථිකයකට පරිවර්තනය වීමයි. ඒකයි මේ අධ්‍යාපනය ක්‍රමයට අපි මුල් තැන දීලා තියෙන්නේ.

ඒත් අධ්‍යාපනයට මුල් තැන දීලා පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ හා සමාන අලුත් ව්‍යාපාර කර්මාන්ත අපි ලබා ගන්න ඕනෑ. ශිල්ප දැනුම ලබාගත යුතුයි. ඒ සියල්ල කිරීමට අපට විදේශ ආයෝජන වුවමනා කරනවා. අපි ආසියාවේ දියුණු රටවල් දිහා බැලුවොත් ජපානය ලෝක වෙළෙඳපොළට ගිහින් දියුණු වුණා. දකුණු කොරියාව ලෝක වෙළෙඳපොළට ගිහින් දියුණු වුණා. වියට්නාමය යුද්ධයක් කරලා වැටිලා තිබුණු රටක්. අද ලෝක වෙළෙඳපොළට ගිහින්, නැතිනම් විශේෂයෙන් ඇමරිකා වෙළෙඳපොළට ගිහින් පොහොසත් වුණා. සිංගප්පූරුව ලෝක වෙළෙඳපොළට ගිහින් පොහොසත් වෙලා. මැලේසියාව ලෝක වෙළෙඳපොළට ගිහින් පොහොසත් වෙලා. තායිලන්තය ලෝක වෙළෙඳපොළට ගිහින් පොහොසත් වුණා. අපි මොකද්ද කරන්නේ? අපි දේශිය වෙළෙඳපොළේ හිර වෙනවාද ? විදේශිය වෙළෙඳපොළට ගිහින් පොහොසත් වෙනවාද?

“එදා අපි විදේශ ආයෝජකයන් ගෙනාවා ඇඟලුම් කර්මාන්තය කරන්න. අපි ගෙනත් ස්ටාර් ගාමන්ට් වාගේ දේවල් පටන්ගත්තාට පස්සේ මොකද සමහර අය කිව්වේ, අපි ජංගි මහන්න සුද්දෝ ගෙනාවා කිව්වා. දැන් අපේ මිනිස්සු ජංගි මහනවා ලෝකයට හොඳ මුදලකුත් අරගන්නවා. දැන් ලංකාවේ විතරක් නෙවෙයි බංග්ලාදේශයේ පවා කර්මාන්ත ශාලා තිබෙනවා. මැද පෙරදිග කර්මාන්ත ශාලා තිබෙනවා. ඉතියෝපියාවේ කර්මාන්ත ශාලා තිබෙනවා. සී ෂෙල්ස්වල කර්මාන්ත ශාලා තිබෙනවා. දැන් මියන්මාර්වලට යන්න හදනවා. මේ වැඩ අපේ අය ඉගෙන ගත්තා කාලයක් ගියාට පස්සේ. ඒ අත්දැකීම් දැනුම ලබා ගත්තා. එත් අපි මතක තියාගන්න ඕනෑ මේ අධ්‍යාපනය ලබා දිලා නවීකරණය කරලා එතනින් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මොකද්ද අපි කරන්නේ කියලා. ශ්‍රමය පදනම් වුණු රැකියා කරන්න කියනවාද? දැනුම පදනම් කර ගත්ත රැකියා කරන්න කියනවාද? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ගැටලුව. මම බලන්නේ දැන් හොඳ රැකියා ලබා ගන්න. ශීඝ්‍ර ආර්ථික විපර්යාසයක් කරලා ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳපොළේ තරඟ කළ හැකි ආර්ථිකයක් ඇති කරලා තමන්ගේ අතේ තිබෙන ආර්ථිකය දෙගුණයක් කරන්න තමයි මීළඟ අවුරුදු කිහිපයේදී බලාපොරොත්තු වෙන්නේ කියලා මම කියන්න කැමැතියි.

ඒවා කොළඹට පමණක් සීමා වෙන්න ඕන නැහැ. අරණායකත් සංචාරක කර්මාන්තයට හොඳ ප්‍රදේශයක්. දැරණියගල, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ අරණායක ප්‍රදේශයට අපි මධ්‍යම අධිවේග මාර්ගය එක්ක ඒ දියුණුව ගේන්න ඕනෑ. ඒක අපි ඇති කළ යුතුයි. දැන් එක වැඩ කටයුත්තක් ආරම්භ කළා. අධ්‍යාපනය නවීකරණයට දැන් ඒ ශක්තිය ඕනේ. ආර්ථික නවීකරණය මඟින් තමන්ගේ ආර්ථිකය තවත් වැඩි වෙනවා. ජේ.ආර්. ජනපතිතුමා විවෘත ආර්ථිකයක් අපට ලබා දුන්නේ නැතිනම් අපි කොහෙද ඉන්නේ. එච්චරයි මට අහන්න තියෙන්නේ. ජංගම දුරකථනයක් තියේවිද? මේ රට දියුණු කරන්න අපේ ව්‍යාපාර ශක්තිමත් කරන්න අපි ලෝකයට යන්න ඕනෑ. ලෝකය සමඟ තරඟ කර ලෝකය අල්ලා ගත යුතුයි.”

මාතෘකා