ගම්මන්පිල ගෝඨාම ඉල්ලයි

 ඡායාරූපය:

ගම්මන්පිල ගෝඨාම ඉල්ලයි

[උපාලි කරුණාරත්න]

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තමන් ඇතුලු පොහොට්ටු කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුමකට යාමට සිදුවන බවත් ජනාධිපතිවරණයකදී වඩාත්ම ජයග්‍රහණය කළ හැකි තැනැත්තා ලෙස තමා දකින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (18) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

එම සමගියට කවුරුන් හෝ විරුද්ධ වනවා නම් ඔහු ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය බලාපොරොත්තු වන පුද්ගලයෙක් වශයෙන් හැදින්විය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් කළ නොගතහොත් ජනපතිවරණ ජයග්‍රහණයක් සඳහා තමන් ඇතුලු පොහොට්ටු කණ්ඩායමට විශාල දුෂ්කර ක්‍රියාවක් කිරීමට සිදුවන බවද එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පැවසීය.

එසේම විවෘත වේදිකාවේ කතා කරන ඇතැම් කරුණු කාරණා බොහෝ තීරණවලට පටහැනි යයිද කී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයක් සෑදීම පිළිබඳව මේ වන විට එකඟතාවන් ගණනාවකට පැමිණ තිබෙන බවද පැවසීය.

මාතෘකා