විකල්පයේ බෙදුම් රේඛා

 ඡායාරූපය:

විකල්පයේ බෙදුම් රේඛා

විකල්පය යනු කුමක්ද යන්න ප්‍රශ්නගතව පවතී. නමුත් විකල්ප යැයි කියන කණ්ඩායම් 99%ක්ම මෙම ප්‍රශ්නයට නිසි පිළිතුරක් නොදෙයි. අප උත්සාහ කරන්නේ එහි පැහැදිලි බෙදුම් රේඛා ඇඳ ගැනීමටය. විකල්පය යනු තවත් එක වචනයකි. එය පුළුල් පරාසයක වචනයකි. දේශපාලනයට පමණක් අදාළ නොවන්නකි. නමුත් එය දේශපාලනිකව ඉහළට එසවෙන්නේ රට මේ මොහොතේ පවතින තත්ත්වය මතය.

මිනිසුන්ගේ අභිලාෂය සහ අවකාශය

දශක 7ක මජර දේශපාලනය මිනිසුන්ට එපා වී ඇත. ඒ දේශපාලනය විසින් තනාදෙනු ලැබූ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්‍රමයම මිනිසුන්ගේ විවේචනයට ලක් වෙමින් තිබේ. දැන් මිනිසුන්ට අලුත් යමක් අවශ්‍යව ඇත. සාමය, නිදහස, හිමිකම් සහ පැවැත්ම වඩාත් තහවුරු කරන අභිමානවත් පුරවැසියන්ගේ දියුණු සමාජයක් මිනිසුන්ට අවශ්‍යව ඇත. ඒ මිනිසුන්ගේ අභිලාෂයයි. ඒ අභිලාෂය මත පදනම්ව ගොඩනැඟුණු මහජන අවකාශයක් නිර්මාණය වී තිබේ. එය විකල්ප අවකාශයයි. විකල්ප මතවාද ගොඩනැඟිය යුත්තේ ඒ තුළය. ඔවුන්ගේ අභිලාෂය ඉටු කළ හැකි වැඩපිළිවෙළ විකල්ප වැඩපිළිවෙළයි. විකල්පය යනු පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, සංවිධානයක් හෝ පක්ෂයක් නොවෙයි. විකල්පය යනු වෙනසක් ඉල්ලන මහජන අවකාශයයි. විකල්ප ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ, ගමන්මඟ, සංස්කෘතිය, කණ්ඩායම් නායකයන් මෙන්ම පක්ෂද සකස් විය යුත්තේ මෙම අවකාශය පදනම් කරගෙනය.

විකල්ප ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ

මෙය සකස් විය යුත්තේ පවතින ක්‍රමයට සාපේක්ෂව සහ එය විසින් ඇති කරන ලද දුර්වලතා, ගැටලු සහ අර්බුදවලට විසඳුම් ලබා දෙන ආකාරයටය. රට ගොඩනැඟිය හැකි, දීර්ගකාලීනව ක්‍රියාත්මක කළ හැකි රට ගොඩනඟන ජාතික ප්‍රතිපත්ති සමූහයක්, දූෂණය සහ අකාර්යක්ෂමතාව නැති කළ හැකි ක්‍රමවේදයක්, ජාතික සම්පත් සුරකින ජාතික සංස්කෘතිකමය සහ සදාචාරාත්මක වටිනාකම් සුරකින වැඩපිළිවෙළක් විකල්ප ලෙස මිනිසුන් සොයමින් සිටියි. තවදුරටත් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සීත කාමරයක හදන ෆැන්ටසිමය ලියවිලි විකල්ප ලෙස පිළිගැනීමට ජනතාව සූදානම් නොවනු ඇත. එම නිසා එය මහජනතාවගේ පුළුල් සහභාගීත්වයෙන් ගොඩනැඟිය යුතුය. එම විකල්ප ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ජනතාව පිළිගනු ඇත.

කණ්ඩායම් හෝ පක්ෂ

විකල්ප ජාතික වැඩපිළිවෙළක් මා සඳහන් කරන විකල්ප මහජන අවකාශය මත ගොඩනඟන්න නම් නායකයන්, කණ්ඩායම් සහ පක්ෂ අවශ්‍යය. ඔවුන් මෙම මජර ක්‍රමයේ සිට මෙම අවකාශය දැක ලහිලහියේ පැමිණ ඉන් කොටසක් ඩැහැගෙන පාර්ලිමේන්තුවට පිවිස එහි ප්‍රතිලාභ භුක්ති විඳින්නට පමණක් පැමිණෙන්නවුන් නොවිය යුතුය. මා එසේ සඳහන් කරන්නේ අනුන්ගේ කිසිදු ගැටලුවක් වෙනුවෙන් මේ මහ පොළොවේ සටන් නොකරපු මේ මජර ක්‍රමයත් සමඟ යහන්ගතවුණු දේශපාලන ගණිකාවන්ගේ විකල්ප ප්‍රවේශය නිසාය.

ඒ නිසා විකල්ප නායකයෙක් වෙත්ම ඔහු කුමන හෝ ජනතා සටනක (කුඩා හෝ) සිටි, අතීතයේ මේ ක්‍රමයට එරෙහිව සිටි බවට භාවිතයෙන් ඔප්පු කළ හැකි අය විය යුතුය. රට ගිනි ගනිද්දී සමාජය අර්බුදයකට යද්දී වස්තුව රැස් කරමින් කා බී විනෝද වෙමින් ජීවිතය ගෙවා විශ්‍රාම ගොස් ඉන් පසුව අතිරේක ආදායමක් ලෙස විකල්පය දකින්නන් නායකයන් නොවිය යුතුය. එසේත් නැතිනම් විශ්‍රාමික සැඳෑ සමයේ අතිරේක වින්දනයක් ලැබීමට විකල්ප මාර්ගය කරගත්තවුන් නොවිය යුතුය. එමෙන්ම 1948 දේශපාලන පරම්පරාවේ කිසිවකුටත් සැබෑ විකල්පය විය නොහැක.

විකල්ප සංවිධාන වෙත්නම් එහි යාන්ත්‍රණය විකල්ප විය යුතුය. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සියල්ලන්ටම සමාන තලයක වැඩ කරන්නට හැකි ක්‍රමයක් තිබිය යුතුය. සරලව කියතොත් මෙම මජර ක්‍රමයේ පක්ෂ යාන්ත්‍රණයෙන් එපිට නව යාන්ත්‍රණයක් සහිත විය යුතුය.

විකල්පය සොයන ගමන

සැබෑ විකල්පය පිළිබඳව අවබෝධ කරගත හැකි පැහැදිලිම තැන මෙය වේ. බොරු විකල්ප නාමධාරීන් අවබෝධ කරගත හැකි තැන මෙයය. එනම් විකල්පය සොයා යන ඔවුන්ගේ ගමන විමසා බැලීමෙනි. කිසිවකු විසින් විකල්ප ගමන සකස් කරන්නේ පරණ මජර ක්‍රමයට නම් ඒ තුළින් ගොඩනඟන විකල්පයක් නැත. කිසිවකු විකල්ප ගොඩනැඟීමට මිලියන 500ක් 750ක් අතර වියදම් කරන්නට සූදානම් වීමෙන්ම නාස්තිය පෙන්නුම් කරයි. මුදල් කන්දරාවක් නාස්ති කරමින් බලයට එන්නන් රට නාස්ති නොකරාවි යැයි කිව නොහැක. එමෙන්ම කිසිවකුගේ විකල්ප ගමන ප්‍රජාතන්ත්‍රවාදී නොවේ නම් ඔවුන් බලය ලබා ගතහොත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කළ නොහැක.

විකල්ප ගමන් මාර්ගය සකස් විය යුත්තේ නාස්තිය නැති, මුදල් කාබාසිනියා නොකරන ප්‍රචාරණ ව්‍යාපාරයකිනි. විකල්ප මහජන අවකාශයට තම හඬ නැඟෙන්නට වැඩි ඉඩක් වෙන්කරමිනි. අප කතා කරනවාට වඩා ජනතාවට කතා කරන්නට ඉඩදී ඒ හඬ නැවත ජනතාව ඉදිරියට ගෙනයෑමෙනි.

විකල්පය විකල්පයක්ම විය යුතුය

අලුත් රටක් ගොඩනඟන්නට අලුත් අවකාශයක් හැදී තිබේ. ඒ නමින් විකල්ප මහජන අවකාශයයි. එහි අභිලාෂය ඉටු කළ හැකි අලුත් නායකයන් බිහි විය යුතුය. අලුත් සංවිධාන බිහි විය යුතුය. එමෙන්ම එහි ගමනද අලුත්ම ගමනක් විය යුතුය. වෙනස්ම ගමනක් විය යුතුය. අන්න ඒ වෙනස් සහ අලුත් බවට අපි විකල්ප යැයි කියන්නෙමු. අශිෂ්ටත්වය පරාද කර ශිෂ්ටත්වය උදෙසා යන සමස්ත විකල්පයම වඩාත් ශිෂ්ට සම්පන්න විය යුතුය. ඒ ශිෂ්ටත්වයට අපි විකල්ප යැයි කියමු. විකල්පය විකල්පයක්ම විය යුතුය.

මාතෘකා