වෙනස ඇති කරන්න ඔබේ සහය දෙන්න

 ඡායාරූපය:

වෙනස ඇති කරන්න ඔබේ සහය දෙන්න

 

අගමැති රනිල් වික්‍රමසිංහ

 

මෙරට පවතින දේශපාලන ක්‍රමවේදය පිළිබඳව තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටී ඇති බවත් ඒ අනුව දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුකළ යුතු බවත් පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම වෙනස රටේ තරුණ තරුණියන් සමඟ එක්ව ඔවුන්ගේ අදහස්වලට මුල්තැනදී සිදුකළ යුතු බව කියා සිටියේය.

දැන් කළ යුතුව තිබෙන්නේ පවතින ක්‍රමවේදය වෙනස් කර, තරුණ පරපුරේ විශ්වාසය යළි ගොඩනඟමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දීම බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (17) අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

"එක්තරා කාලයක තරුණ කැරලි ඇති වී තරුණයන් කෙරෙහි පැවැති විශ්වාසය කඩවුණු නිසා තරුණ සේවා සභාව ඇති කිරීමට පියවර ගත් බව මේ උත්සවයේදී ප්‍රකාශ කෙරුණා. නමුත් අද සිදුව තිබෙන්නේ එය කණපිට හැරවීමක් බව කිව යුතුයි. මේ රටේ ආණ්ඩු ක්‍රමය ගැන අපේ තරුණ තරුණියන්ට අද වන විට විශ්වාසයක් නැතිවී තිබෙනවා. මේ අනුව බලන විට මෙහි නිවැරදි වන්නේ කවුරුන්ද? තරුණ තරුණියන්ද? වැඩිහිටියන්ද? පාලකයන්ද? අද උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ තරුණයන්ගේ හඬට අප ඇහුම්කන් දිය යුතුයි.

"මේ රටේ තරුණ තරුණියන්ට සමාජයේ ඉදිරියට පැමිණීම සඳහා මාවතක් සකස් කළ යුතුව තිබුණා. ඒ අනුව 1979දී ස්වේච්ඡා සේවයට අප අගයක් ලබා දුන්නා. එදා යෞවන සමාජ ආරම්භ කරමින් ඒ මාවත අප විවෘත කළා. 2015දී මේ වැඩකටයුතු යළි ආරම්භ කරන විට මා තුළ එක් බලාපොරොත්තුවක් ඉටුවී තිබුණා. ශක්තිමත් ස්වේච්ඡා සංවිධාන ගණනාවක් ග්‍රාමීය මට්ටමින් බිහිවී තිබුණා. එයට යෞවන සමාජ සම්මේලනයත් එකතු කරමින් නව පුළුල් ව්‍යාපාරයක් අප ආරම්භ කළා.

"මේ රටේ දේශපාලනඥයන් වශයෙන් දැන් අපට සිදුවී තිබෙන්නේ එතැනින් ඒ තරුණ හඬට ඇහුම්කම් දීමටයි. පවතින ක්‍රමයෙන් ලැබෙන වාසිය කුමක්දැයි තරුණයන් විමසා සිටියා. මෙතෙක් අපි ඉදිරියට පැමිණියේ 1978දී ඇති කළ රාමුව තුළයි. එය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා. 2015දී අපි පක්‍ෂ ගණනාවක් සමඟ එකතු වී ආණ්ඩුවක් පිහිටෙව්වා. කොපමණ ප්‍රශ්න තිබුණත් පවතින රාමුව තුළ නිදහස හා සංහිඳියාව ඇතිකළ යුතු යැයි මා තීරණය කළා. ඒ නිදහස හා සංහිඳියාව ඇති කිරීමෙන් පසු රාමුව වෙනස් කිරීමට අප තීරණය කළා. කොපමණ ප්‍රශ්න තිබුණත් ඉතා අමාරුවෙන් මම මේ ආණ්ඩුව වසර හතරහමාරක් ඇදගෙන ආවා.

"ගතවූ කාලය තුළ රටේ නිදහස සම්පූර්ණයෙන්ම තහවුරු කිරීමට අපට හැකි වුණා. බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමේ පරිසරයක් උදාකර දීමට අපට හැකි වුණා. කිසිදු බයක් සැකක් නොමැතිව තම වැඩකටයුතු සිදුකරමින් ඉදිරියට යෑමට මේ රටේ ජනතාවට අවස්ථාව උදා වුණා. මේ රටේ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි ඕනෑම ජාතියකට භේදයකින් තොරව සමගියෙන් ජීවත්වීමට අවස්ථාව උදා කළා. මේ සියලු ජාතීන්ට අයත් තරුණ තරුණියන් ශ්‍රී ලාංකිකයන් ලෙස අප පිළිගත්තා. දැන් ඔබට උවමනා කරන අලුත් රට අප බිහිකළ යුතුයි. එය කරන්නේ කවුද? එය කොහොමද කරන්නේ? ක්‍රමවේදය කුමක්ද? මුහුණු මාරු කරමින් බලාපොරොත්තු වන වෙනස ඇති කරනවාද? එසේත් නැත්නම් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 වෙනස් කර අලුත් මුහුණු දාලා එය සිදුකරනවාද? එසේත් නැත්නම් ක්‍රමවේදය වෙනස් කර අප ඉදිරියට යනවාද? මේ ප්‍රශ්න අද අප හමුවේ තිබෙනවා.

"මේ වෙනස ගැන මා දිගුකාලයක සිට කල්පනා කළා. මගේ පුංචි කාලයේ අප රටට ඉදිරියෙන් සිටියේ ජපානය පමණයි. නමුත් දැන් අපට පිටුපස සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණයි. ලංකාවට සිදුවුණේ කුමක්ද? දියුණුව කරා පැමිණීමට නොහැකි වුණේ කුමන හේතු නිසාද? අපට දියුණුව කරා ගමන් කිරීමට නොහැකි වුණේ රටේ පැවැති දේශපාලනය නිසාද? ඔව්. ඒ දේශපාලනය නිසා අපට දියුණු වීමට නොහැකි වූ බව අප පිළිගත යුතුයි. අද මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. යුරෝපය, එංගලන්තය, ජපානය වැනි රටවල පාලකයන් මාරු වුණත් ප්‍රතිපත්තිවල වෙනසක් සිදුවන්නේ නැහැ.

"වසර 30ක් මේ රටේ යුද්ධයක් පැවතුණා. ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේ සිද්ධීන් ඇති වූයේ කුමන හේතු නිසාදැයි අප විමසා බැලිය යුතුයි. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු වෙනසක් සිදුකළ යුතු බව බොහෝදෙනකු ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම පන්නා දැමිය යුතු බව තවත් සමහරු ප්‍රකාශ කළා. එම මුහුණු වෙනස් කළ යුතු බව තවත් අය පැවසුවා. නමුත් මේ කිසිවක් සිදුකිරීමෙන් අපට විසඳුමක් ලබාගත නොහැකියි. විසඳුමක් ලබා ගැනීමට නම් අප කළ යුත්තේ පවතින ක්‍රමවේදය වෙනස් කිරීමයි.

"මගේ ස්ථාවරය වී තිබෙන්නේත් වෙනසක් ඇති කළ යුතු බවයි. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට මා සූදානම් බව කිව යුතුයි. මා දේශපාලනයට නොපැමිණියා නම් මට ඕනෑතරම් මුදල් හම්බ කරන්න අවස්ථාව තිබුණා. නමුත් එදා සිට මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් මගේ කාලය වැය කළා.

"පැවැති අධ්‍යාපන ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් මා ඇති කළා. මට අවශ්‍ය වුණේ මේ රට ඉදිරියට ගෙනයෑමටයි. 2015 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස තොරතුරු තාක්‍ෂණය පදනම් කරගත් නව අධ්‍යාපන ක්‍රමයක් මෙන්ම යහපත් සෞඛ්‍ය ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් මා කටයුතු කළා. මේ සෑම දෙයකටම වඩා මේ රටේ ණය බර තරුණ පරපුර මත පටවන්නේ නැතිව අපේ ජීවිත කාලය තුළ එය ගෙවා දැමීමට කටයුතු කළා.

"මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ ජාතීන් අතර නැවත සටන් ඇති නොවී ශ්‍රී ලාංකිකයන් ලෙස සැමටම ඉදිරියට යෑමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමට මට අවශ්‍ය වුණා. ඒ සඳහා මා කැපවුණා. ඒ ගමන ශක්තිමත්ව ඉදිරියට පැමිණියා. දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නිසා පවත්නා ක්‍රමය වෙනස් කිරීමට අපේ තරුණ කාලයේ අවස්ථාව ලැබුණා. එදා අපි හැදූ ක්‍රමය වෙනස් කිරීමට කාලය එළැඹ තිබෙන බව අප විශ්වාස කරනවා.

"විවෘත සමාජයක් ඇති කිරීමට අපට හැකි වුණා. ඉදිරියට යෑමට අවශ්‍ය වෙනස කුමක්දැයි ඔබගෙන් අහන්න කැමතියි. ඒ වෙනස ඇති කිරීමට අවශ්‍ය යෝජනා ලබා ගැනීමට යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ෂෙහාන් කෞෂිල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා. සති දෙකක් තුළ එම වාර්තාව ලබා දෙන ලෙස ඔහුට උපදෙස් ලබා දෙනවා. එම සති දෙකක කාලය තුළ තරුණ ඔබේ අදහස් ලේකම්වරයාට ලබා දීමට කටයුතු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා. එම වෙනස පිළිගෙන, එම වෙනස ඇති කිරීමට අප සියලුදෙනාම කටයුතු කරමු යැයි ඉල්ලා සිටින්න කැමතියි.

"ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතා තරුණ සේවා සභාවට හා රටේ තරුණයන් වෙනුවෙන් සිදුකළ සේවයට මාගේ ස්තුතිය පුද කරනවා. මම විපක්‍ෂයේ කටයුතු කරන විට එතුමා දක්‍ෂ නීතිඥයකු ලෙස හඳුනාගැනීමට හැකි වුණා. ජාතික තරුණ සේවා සභාවට එතුමාගෙන් විශාල සේවයක් සිදුවූ බව සඳහන් කරන්න කැමතියි. මුල් කාලයේ චරිත රත්වත්තේ මහතා වගේම ඉන්පසු එරංග වැලිඅංගේ මහතාත් මට විශාල සහයෝගයක් ලබා දුන්නා.”