ආදිවාසී මෙහෙවර අගයමින් ඉදි කළ පොළොන්නරුව දිසාලාගම සහ ජීවහත්තගම ආදර්ශ ගම්මාන

 ඡායාරූපය:

ආදිවාසී මෙහෙවර අගයමින් ඉදි කළ පොළොන්නරුව දිසාලාගම සහ ජීවහත්තගම ආදර්ශ ගම්මාන

 

 

පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නිවාස හා ජනාවාසකරණයේ ප්‍රමුඛතම සංවර්ධන කාර්යයභාරයක් ඉටුකරන දිස්ත්‍රික්කයකි. ඓතිහාසික පොළොන්නරු යුගයේ සිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කාර්යදාමය පිළිබඳ පුරෝගාමීත්වයක් ඉසිලූ පුලතිසිපුරවරය අසූව දශකයේ මෙරට ක්‍රියාත්මක වූ උදාගම් ව්‍යාපාරයේ වඩාත් කැපීපෙනෙන ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරනු ලැබීය. 1985 වසරේ හිඟුරක්ගොඩ ප්‍රදේශය මුල්කොටගත් මහා ගම්උදාව සංවත්සරය පොළොන්නරුව දිස්ත්‍රික්කය කඩිනම් ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළකට රැගෙන යනු ලැබීය.

මෙහි පසුකාලීන අත්දැකීම් සමඟින් පෙරගමනක් යමින් නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිලිවෙළට එක්වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන,

දීපව්‍යාප්ත නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නැංවේ. දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක මෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය මෙම සංවර්ධන ක්‍රියාවලියේ වඩාත් කැපීපෙනෙන කාර්යදාමයක් ඉටුකරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උදාවූ සොරිවිල කොටරාගලගම, ආදර්ශ ගම්මානය සහ දළුකාන ග්‍රාමයේ උදාවූ දිසාලාගම සහ ජීවහත්තගම ආදර්ශ ගම්මාන නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම නිවාසලාභීන්ගේ අයිතියට පත්කරලමින් අගෝස්තු මස 18 වැනි දින සිදුකෙරුනේ සැමට සෙවණ ජාතික සංවර්ධන වැඩපිළිවෙළේ පොළොන්නරුව දිස්ත්‍රික් සාර්ථක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසිනි.

කොටරාගලගම ආදර්ශ ගම්මානය පෞරාණික දිඹුලාගල විහාරස්ථානය ඇසුරෙහි නිර්මාණය වූ ආදර්ශ ගම්මානයකි. මෙම ගම්මානයේ මුල් ජනපදිකයන්ගෙන් පැවත එන අනු පවුල් සඳහා කොටරාගලගම ආදර්ශ ගම්මානයේ නව නිවාසයන්හි හිමිකම ලැබී තිබේ.

සොරිවිල කොටරාගල ඓතිහාසික ග්‍රාමය, පොළොන්නරු යුගය දක්වා විහිදී යන දිගුකාලීන ඉතිහාසයකට හිමිකම් කියන ගම් පෙදෙසෙකි. අසූව දශකයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුවිශේෂී ආගමික මෙහෙවරක් ඉටුකළ මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ඉතා දිර්ඝ කාලයක් කොටාරගල විහාරස්ථානයේ වැඩවිසූ බවක් සඳහන් වේ. පසුකලෙක සීලාලංකාර නාහිමියන් විසින් දිඹුලාගල රාජමහා විහාරස්ථානය මුල්කොටගත් සුවිශේෂී මහජන මෙහෙවරක් ඉටුකළ අතර දිඹුලාගල ප්‍රදේශයේ නිවාස හා ජනාවාස සංවර්ධනය සඳහාද එවකට ක්‍රියාත්මක වූ උදාගම් ව්‍යාපාරය වෙනුවෙන්ද මහානාහිමියන් විසින් වැදගත් දායකත්වයක් ලබාදෙනු ලැබීය.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළින් අගෝස්තු 18 වැනි දින නිවාසලාභීන්ගේ අයිතියට පත් කෙරුණු සෙසු ආදර්ශ ගම්මාන ද්විත්වය පිහිටා ඇත්තේ දළුකාන ග්‍රාමයේය. විජය කුමරුන්ට දාව කුවේණිය සතු දරුවන් දෙපළ ඇය විසින් රැගෙන පළා ගිය බවත් ඉන් අනතුරුව ඇයගේ මරණයෙන් පසු එම දරු පරපුරෙන් පැවත එන පුලින්දයන් හෙවත් වැද්දන් (ආදිවාසීන්) ලෙසින් පැවත ආ බවට මහාවංශයෙහි සඳහන් වේ.

මෙම ආදිවාසී ජනකොටස් තෙත් කලාපය ආශ්‍රිත ප්‍රදේශයන්හි මෙන්ම අනුරාධපුර පොළොන්නරුව වැනි වියළි කලාප ප්‍රදේශ තුළද ව්‍යාප්ත විය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කේන්ද්‍රකොට ගනිමින් මනම්පිටිය, සොරිවිල, යක්කුරේ කරපොළ, කිරිදමන දළුකාන යන ඉපැරණි ගම්මානවල මෙම ආදිවාසී ජනකොටස ජීවත්වූ බව සඳහන් වේ. ඔවුන්ගෙන් පැවත එන නව පරපුර සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ඉඩම් කොටස් බෙදා දීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෑත කාලයකදී දළුකාන ග්‍රාමය ආශ්‍රිතව සැමට සෙවණ ආදර්ශ ගම්මාන උදාවිය. මෙම ගම්මාන ද්විත්වයේ මුල් වැසියන් ලෙසින් මෙම ආදිවාසී පරපුර දැන හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පරපුරේ මූලිකයන් ලෙසින් සැලකෙන කුවේණියගේ දරු දෙදෙනා නමින් මෙම දළුකාන ආදර්ශ ගම්මාන ද්විත්වය ජීවහත්තගම සහ දිසාලාගම නමින් නම් විය.

සොරිවිල කොටරාගලගම ආදර්ශ ගම්මානය නව නිවාස 16කින් සමන්විත වේ. මෙහි පදිංචිකරුවන් බහුතරය ද්‍රවිඩ සම්භවයක් ඇතිව වර්තමානයේ සිංහල ජන සමාජය සමඟ මුසුවී සිය දිවිපෙවෙත ගත කරයි. මූලික පහසුකම්වත් නොමැතිව සිය ජීවිත ගෙනගිය කොටරාගල ගම්වැසියන්ට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ දායකත්වයෙන් දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ නව නිවාස පහසුකම්වලින් සමන්විත ආදර්ශ ගම්මානයක හිමිකම ලැබිණි.

උදාවී ඇත්තේ ආදිවාසී දිනයයි. මෙම වසරේ ආදිවාසී දිනය නිමිත්තෙන් ආදිවාසීන්ගෙන් පැවත එන නව පරපුරේ නිවාසලාභීන්ගේ අපේක්ෂාවන් ඉටුකරමින් උදාවූ දළුකාන ජීවහත්තගම නව නිවාස 27 කින් සමන්විතවේ. ඒ ඇසුරෙහි ඉදිවී ඇති දිසාලාගම නව නිවාස 23කින් යුක්ත වේ. ජීවහත්තගම සහ දිසාලාගම සැමට සෙවණ සෙසු ආදර්ශ ගම්මාන මෙන් අංගසම්පූර්ණ ජනාවාස ලෙසින් නිර්මාණය වී තිබේ. ජන ජීවිතයට ඇවැසි මූලික යටිතල පහසුකම්, සේවාවන් මෙන්ම නිවහනක දිවිපෙවෙතකට අවශ්‍ය සෙසු ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගතිලක්ෂණද මෙම ජනාවාසයට එක්ව තිබේ.

නිවසක් යනු සමස්ත සමාජීය අවශතාවක් වුවද නිවහනේ ජීවත්වන පවුලේ සාමාජිකයන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අනන්‍යතාවට අනුකූලව නිවසේ අවශ්‍යතාවන් වෙනස් වේ. එවැන්නක් ඒ සියල්ලෙන් ඉටුකිරීමට නොහැකිවීම අදාළ නිවාස; ප්‍රතිලාභී පවුල වෙනුවෙන් ප්‍රතික්ෂේප කිරීමකි. එදා උදාගම් ව්‍යාපාරය මෙන් අද සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ නිවහන තුළ පවත්නා මෙම සමාජීය අනන්‍යතාව නිවැරදිව අවබෝධ කරගනිමින් ක්‍රියාවට නැංවේ.

ද්‍රවිඩ අනන්‍යතාවකින් හෙබි ජන සමූහයකින් පැවත එන සොරිවිල කොටරාගලගම ආදර්ශ ගම්මානයත් ආදිවාසී ජන සමූහයෙන් පැවත එන්නා වූ නව පරපුරේ නිවාස අවශ්‍යතාව ඉටුකරලමින් නිර්මාණය වූ දිසාලාගම සහ ජීවහත්තගම නිවාසලාභීන්ගේ හිමිකමට පත්වූයේ මෙම ජන සාමුහිකත්වයෙන් නිසි අවශ්‍යතාවන් ඉටුකරලමිනි.

[ලක්විජය සාගර පලන්සූරිය]

මාතෘකා