බදුල්ලේ එජාප රැළියට ජන ගඟක්

 ඡායාරූපය:

බදුල්ලේ එජාප රැළියට ජන ගඟක්

බදුල්ල විල්ස් උද්‍යානයේදී පැවැති ජන රැළියට සර්ව ආගමික නායකයින් මෙන්ම අතිවිශාල ජනකායක් එක්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ. එහිදී රැළිය ඇමතූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා යනු හොර මැර නැති සැබෑ සිංහල බෞද්ධ නායකයෙකු බවය.

ඔහු අවුරුදු 30ක අත්දැකීම් බහුල නායකයෙක් බවද මිනිසුන්ගේ ගඳ සුවඳ හඳුනන නායකයෙක් බව හෙතෙම පැවසීය.

ඌව වෙල්ලස්ස යනු සටන් ඇරඹි, සටන් දිනූ බිමක් බවත්, එජාපය දිනන සටන ආරම්භ කළේත් ඌව වෙල්ලස්සෙන් බවත් හෙතෙම පැවසීය.

රජයෙන් යම් යම් වැරදි අඩුපාඩු සිදු වුවද මේ වන විට නියම නායකයා සජිත් ප්‍රේමදාස මහතා ලෙස හඳුනාගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී රැළිය ඇමතූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් රටේ ජාතික ආරක්ෂාව යනු මිලිටරී ආරක්ෂාව පමණක් නොව රටේ සියලුම ක්ෂේත්‍රයන්ගේ ආරක්ෂාව බවත් කීය.

ජාතික ආරක්ෂාව යනු මිලිටරී ආරක්ෂාව නොවන බවත් මිලිටරී ආරක්ෂාව තහවුරු කරන්නා සේම රටේ ආර්ථික ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාවද තහවුරු කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නව දැක්ම තුළ රටේ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට සෑම උපදිසාපති කොට්ටාසයකම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන නිර්මාණය කරන බවත් සෑම උපදිසාපති කොට්ටාසයකම ජාත්‍යන්තර භාෂා විද්‍යාගාර ගොඩනඟමින් ඉංග්‍රීසි, චීන, ජපන් ඇතුළු සෑම භාෂාවක්ම ඉගෙනීමේ මධ්‍යස්ථාන නිර්මාණය කරන බවත් පැවසීය.

ඕනෑම රටක අධ්‍යාපන ක්‍රමය ඉහළ නැංවූ විට රට ශක්තිමත් වන බව එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රට තුළ ජනතා හිතැති ලෝක රැකියා වෙළෙඳපොළට සරිලන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට නියමිත බවද මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මාතෘකා

ජනප්‍රිය ලිපි