දුර්වලම අපේක්ෂකයා ඉදිරිපත් කළාට ස්තූතියි

 ඡායාරූපය:

දුර්වලම අපේක්ෂකයා ඉදිරිපත් කළාට ස්තූතියි

ජවිපෙ පොහොට්ටුවට කියයි

රට කැරකොප්පුවක් කර විනාශයට පත් කළ පාර්ශ්ව පරාජයට පත් කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මූල්‍ය විනයත් පරිපාලන විනයත් සහිත නව අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් දුර්වලම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, ගොවි සමිති, ධීවර සමිති එක්ව ජනතා විමුක්ති පෙරමුණ තැනූ විකල්ප ජනතා බලවේගයේ අනුමැතිය සහිතව සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත් මහතා ඊයේ (12) අවධාරණය කළේය.

සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති ජනාධිපතිවරණ අපේක්‍ෂකයා එම කඳවුරේ දුර්වලම පුද්ගලයා වන බවයි. ඔහු සිය භාවිතාවෙන් තමන්ට මූල්‍ය විනයක් හෝ පරිපාලන විනයක් නොමැති බව ඔප්පු කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. එහෙත් තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා දේශපාලනයේ බෙහෙවින් පැරණි අයෙකු බවත් ඔහු දේශපාලන වශයෙන් පරිණත නායකයෙකු වන බවත් එහිදී ඒ මහතා පැවසීය.

“ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මූල්‍ය විනයක්, පරිපාලනයක් විනයක් නැති තමන්ට හිතෙන පරිදි වැඩ කරන නායකයෙක් බව ඉතිහාසයේදි ඔප්පු කරලා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා මෙවැනි පුද්ගලයෙකු විය යුතු යැයි දක්වමින් නාපාන පේමසිරි මහානාහිමි ඇතුළු මහානාහිමිවරු බහුතරයකගේත්, කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේත් අත්සනින් යුතුව ප්‍රකාශනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වෙනවා නඩුවලින් වැරදිකරුවෙකු හෝ නඩු පවතින හෝ අයෙකු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කරන්න එපා කියලා” යැයි විජිත හේරත් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා