ගම රට දිනවන නායකයා අපෙන්

 ඡායාරූපය:

ගම රට දිනවන නායකයා අපෙන්

අමාත්‍ය රාජිත සේනාරත්න

ජනාධිපතිවරණයට රාජපක්ෂ කඳවුර කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළද ගම ඉල්ලන, දිනන අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (11) මතුගමදී පැවසීය.

ගොවි කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපතිවරුන් වන ආර්. ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග වැනි නායකයන් බිහිවූයේ එක්සත් ජාතික පක්ෂයෙන් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 2015ට වඩා පුළුල් සන්ධානයක් මෙවර ගොඩනගන බවත් ඒ සඳහා රටේ සමස්ත බහුතරයගේ මනාපය දිනාගනිමින් ජනාධිපතිවරණයෙන් හා එළඹෙන මහාමැතිවරණයෙන් අතිවිශාල ජයක් ලබා ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

80 දශකයෙන් පසු ජාතික ප්‍රශ්නය ඇතුළු රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳා ගැනීමට ජාතික ආණ්ඩුවකට ගිය බවත් ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා නොසිටි බවත් පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ එවැනි තත්ත්වයක් තුළ මහමැතිවරණයකට ගියා නම් විශ්ෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් පැවති බවයි. එසේ පැවතියත් පක්ෂයෙන් ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය ගැන සිතා කටයුතු කළ බවද පැවසීය.

“දූෂිතයින්, මිනීමරුවන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්ව සිටිනවා. එවැනි පාලකයින් බිහි කිරීම යහපාලන රජයේ අරමුණ නොවෙයි. එම පාලනයට විරුද්ධව තමයි අපි ඇමැතිධුර අතහැරලා එළියට ආවේ. ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ සහ උතුරේ ජනමාධ්‍යවේදීන් 39ක් ඝාතනය කළා. ඔවුන් ඝාතනය කළේ උතුරේ සිදු වූ අසාධාරණකම් වාර්තා කිරීම නිසා. මෙවන් දේවල් සිදු වුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටයි. අද පවතින මාධ්‍ය ආයතනවලට ඒවා අමතකයි. ප්‍රථම වතාවට ඇමෙරිකානු පුරවැසියෙක් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානමින් සිටිනවා. තව ටික දවසකින් බ්‍රිතාන්‍ය ජාතිකයොත් එයි ඡන්දය ඉල්ලන්න." යැයි පැවසීය.-

මාතෘකා