ආදායම වැඩිකර රටේ ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ඇති කරනවා

 ඡායාරූපය:

ආදායම වැඩිකර රටේ ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ඇති කරනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ආර්ථිකය තුළ අපනයන, නිෂ්පාදන, ආදායම ඉහළ නංවමින් ඉන් ඉදිරියට ගමන් කළ යුතු බවත් ආදායම වැඩිකර රටේ ණය ප්‍රමාණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අනාගතයේ ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (01) ඉන්දියානු ආධාර යටතේ කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකළ "මෙට්‍රෝ හෝම්ස්" මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

වත්මන් ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරය දැඩි විශ්වාසයක් තබා තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසු ගතවූ කෙටි කාලය තුළ පමණක් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 1,000කට අධික ණය ආධාර ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය. රුපියල් මිලියන 7,000ක වියදමින් ඉදිකළ මෙම මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 626කින් හා වෙළෙඳසැල් 120කින් සමන්විත වේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"මෙට්‍රෝ හෝම්ස්” ව්‍යාපෘතිය යටතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබෙනවා. මේ ප්‍රදේශය තුළ විශාල සංවර්ධනයක් ඇතිවී තිබෙනවා. මීට පෙර පැවති නිවාස වෙනුවට අලුතින් නිවාස ඉදිකර තිබෙනවා. මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සිදුකළ ටොටා සමාගමේ තවත් වර්ගඅඩි මිලියන 03ක විශාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සූදානම් වෙනවා. එය සාප්පු සංකීර්ණ, කාර්යාල, නිවාස ඇතුළත් මිශ්‍ර සංවර්ධනයක් සහිත කුඩා නගරයක් බව සඳහන් කළ යුතුයි. මෙතෙක් කල් මෙම මාර්ගයේ නවලෝක ගොඩනැඟිල්ල දක්වා පමණක් තිබූ සංවර්ධනය මේ ප්‍රදේශවලටත් පැමිණෙමින් තිබෙනවා. මෙම සංවර්ධනය තුළින් බොහෝ පිරිසකගේ ආදායම් මට්ටම් ඉහළ යනවා. ප්‍රදේශයේ ජනතාවට නව ව්‍යාපාර ආරම්භ කළ හැකි හිතකර වටපිටාවක් මේ වන විට ඇතිකර තිබෙනවා. මෙම ප්‍රදේශය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරනවා. ඉන්දියන් සාගරය මධ්‍යයේ ප්‍රධාන මහ නගරය බවට කොළඹ නගරය පත්කිරීම සැලසුමේ කොටසක් බව සඳහන් කරන්න කැමතියි. මෙම ස්ථානය ඇතුළුව කොළඹ නගරය තුළ හා බස්නාහිර පළාත් අවට අලුතින් ගොඩනැඟිලි ඉදිවෙමින් ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිවෙනවා. ඒ වගේම අලුතින් නාගරික සංවර්ධන වැඩකටයුතු සිදුවෙනවා. පසුගිය වසර කිහිපය තුළ බස්නාහිර පළාතේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා. එවැනි පරිවර්තනයක් ඇති කිරීමට අපට හැකි වුණා. මෙය මහ නගරයක් ඇති කිරීමේ ආරම්භය බව සඳහන් කළ යුතුයි.

"මෙහෙම මහ නගර ඇතිකළ හැකිදැයි කියා ඇතැමුන් අපට සිනාසුනා. ඇතිවී තිබෙන වෙනස දැන් ඔවුන්ට දැකගන්න පුළුවන්. මෙම වෙනස ඇති කිරීමට නායකත්වය ලබාදීම පිළිබඳව පාඨලී චම්පික රණවක ඇමතිතුමාට මම ප්‍රශංසා කරනවා. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඇති කර එයට නායකත්වය ලබාදිය හැකි හොඳම පුද්ගලයා පාඨලී චම්පික රණවක ඇමතිතුමා බව මම විශ්වාස කළා. ඒ අනුව අමාත්‍යාංශය බාරගෙන බස්නාහිර පළාත තුළත් අනෙකුත් ප්‍රදේශයන්හි නගර තුළත් විශාල සංවර්ධනයක් සිදුකර තිබෙනවා. 2015 සිට අද වනතෙක් මෙවැනි සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් වියදම් කළ මුදල් ප්‍රමාණය 2015 වසරට පෙර වියදම් කළ මුදල මෙන් දස ගුණයක් බව සඳහන් කළ යුතුයි.

2010 - 2014 කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරිය වියදම් කළ සම්පූර්ණ මුදල නාගරික සංවර්ධනය වෙනුවෙන් එක් වසරක් තුළ අප වියදම් කරනවා. ඇතැම් පුද්ගලයන් පුරාජේරු කතා පැවසුවාට සැබෑ සංවර්ධනය ඇති කළේ කවුරුන්ද යන්න හොඳින් සිතා බැලිය යුතුයි. සමස්තයක් වශයෙන් මෙම කටයුතු සිදුකළේ 2015 වසරෙන් පසුව පාඨලී චම්පික රණවක ඇමතිතුමා බව සඳහන් කරන්න කැමතියි. මේ පිළිබඳව තර්කයක් තිබේ නම් ප්‍රසිද්ධියේ කියන්න. අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස ඇති කිරීමට අපගේ පාලන කාලය තුළ හැකියාව ලැබුණා. ඇතිවී තිබෙන දියුණුවත් සමඟ නව නගරයකට අඩිතාලම දමා තිබෙන බව මෙහිදී සඳහන් කළ යුතුයි.

"නවීන ආර්ථිකයක් සහිත නව රටක් අප ඇති කරනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූවත් සියලු අභියෝගවලට නොපසුබට වී සංවර්ධන ක්‍රියාවලිය අප ඉදිරියට ගෙන ගියා. පසුගියදා බියගම - කඩුවෙල පාලමේ මංතීරු දෙකක් විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. අද මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමට හැකි වුණා. මෙවැනි විශාල සංවර්ධනයක් රට තුළ ඇති කරමින් ආර්ථිකය ස්ථාවරභාවයකට පත්කිරීමට අපට හැකි වුණා. 2015 වසරේ අප රට බාරගන්නා අවස්ථාවේ ජාත්‍යන්තරයෙන් ණය ලබා ගත නොහැකි තත්ත්වයක පැවතියා. වසර 07ක් පමණ ණය ලබාගෙන ඒවා ගෙවීමට නොහැකි තත්ත්වයක් පැවතීම නිසා ජාත්‍යන්තරය තුළ අපගේ රට කෙරෙහි තිබූ විශ්වාසය නැති වුණා. ණය ලබාගැනීමකින් තොරව අයවැය පියවා ගැනීමට අපට හැකියාවක් නැහැ. ඒ නිසා විශාල ආර්ථික අර්බුදයකට රට ලක්ව තිබුණා. ගෙවී ගිය වසර කිහිපය තුළ අභියෝග රැසකට මුහුණ දෙමින් රටේ ආර්ථික ස්ථාවරභාවයක් අප ඇති කළා. රට කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසය ඇති කිරීමට අපට හැකි වුණා. ඒ විශ්වාසයත් සමඟ නැවත ණය මුදල් ලබාගැනීමට හැකි වුණා. එවැනි විශ්වාසයක් සමඟ අපට ඉදිරියට යෑමට හැකි වුණා. අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුණත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඩොලර් මිලියන 1,000කට වඩා අපට උපයා ගැනීමට හැකිවීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ජපාන බැඳුම්කර වෙළෙඳපොළ තුළ ඩොලර් මිලියන 500ක පමණ සමුරායි බැඳුම්කර මිලදී ගැනීමට අප තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තරය අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා මේ සියල්ල සිදුකිරීමට අපට හැකි වූ බව මතක් කරන්න කැමතියි. කොතරම් අපහසුතා ඇති වුවත් ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට අප කටයුතු කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට කඩා වැටේවි යැයි ඇතැමුන් සිතුවා. නමුත් අද වන විට ආර්ථිකය ස්ථාවර කර බියකින් තොරව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ප්‍රහාරය නිසා රුපියල් බිලියන 200කින් ආදායම අඩුවීමෙන් ආර්ථිකය පසුබෑමකට ලක් වුණා. එවැනි අභියෝග හමුවේ වුවත් රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළ අප නතර කළේ නැහැ.

"මැයි මාසය තුළ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට තිබුණත් මේ වන විට එහි යම් වර්ධනයක් සිදුවී තිබෙනවා. කෙටිකාලීන පියවරක් වශයෙන් ඉන්දියානු සංචාරකයන් ගෙන්වා ගැනීමට අපේ අවධානය යොමු වී තිබෙනවා. රට විශාල දියුණුවක් කරා ගෙන යන බව සඳහන් කරන්න කැමතියි. රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය ශක්තිය වෙන කිසිවකුටත් නැහැ. කවුරු මොනවා කීවත් අපි රට සංවර්ධනය කිරීමේ ගමන ඉදිරියට ගෙනගියා. කොපමණ දෝෂාරෝපණ එල්ල කළත් රට වෙනුවෙන් හොඳ ප්‍රතිඵල අප ලබාදී තිබෙනවා. ආර්ථිකය තුළ අපනයන, නිෂ්පාදන ආදායම ඉහළ නංවමින් ඉදිරියට ගමන් කළ යුතුයි. ආදායම වැඩිකර රටේ ණය ප්‍රමාණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අනාගතයේ ඇති කරන බව සඳහන් කරන්න කැමතියි. ආර්ථිකය ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යා හැකි බව අප ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. ණය පිළිබඳව බියකින් තොරව ඉදිරි වසර 05 තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමෙන් එම ණය ගෙවා ඉදිරියට යා හැකියි. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට සෑම අභියෝගයකටම මුහුණ දෙමින් අනාගතය සකස් කළ හැක්කේ මෙම ආණ්ඩුවට පමණක් බව ප්‍රකාශ කරන්න කැමතියි. ණය ලබාගැනීමට නොහැකියි කියා අපි ඡන්දය ඉල්ලන්නේ නැහැ. සංවර්ධන වැඩකටයුතු අවසන් කර සාර්ථකව ඉදිරි මැතිවරණයන්ට අපි මුහුණ දෙනවා. ආර්ථිකයේ සාර්ථක ප්‍රතිඵල අප පෙන්වා තිබෙනවා. අප සියලුදෙනාටම අමාරු කාලයක් තිබුණා. ඒත් අපට සෑහීමකට පත්විය හැකි අනාගතයක් තිබෙනවා. අපේ දරු පරපුරට ඒ හොඳ අනාගතය හිමිවන බව සඳහන් කළ යුතුයි.”