ස්වභාවික විපතකදී අපි තරම් කිසිම ආණ්ඩුවක් වන්දි ගෙවා නැහැ

 ඡායාරූපය:

ස්වභාවික විපතකදී අපි තරම් කිසිම ආණ්ඩුවක් වන්දි ගෙවා නැහැ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ගොවි ජනතාවට මුහුණදීමට සිදුවූ ස්වභාවික විපත්වලදී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය වෙනුවෙන් පෙරේදා (03) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති වැඩසටහන අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෑම ආණ්ඩුවකම මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමාවූ මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නිමා කිරීමට තමා නායකත්වය ගත්තේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් බවයි. ගොවි ජනතාවගේ ප්‍රධාන ගැටලු වන ජලය සහ ඉඩම් ගැටලු විසඳීමට මෙම යුගයේදී දැඩි කැපවීමකින් කටයුතු කර තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ 1,200කට කෘෂි රක්ෂණ වන්දි මුදල් ප්‍රදානය සංකේතවත් කරමින් ගොවීන් කිහිප දෙනකු වෙත වන්දි මුදල් ප්‍රදානය කිරීම එහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

අමාත්‍ය පී.හැරිසන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වර්ණකුලසූරිය මහතා ඇතුළු නිලධාරීහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ජනප්‍රිය ලිපි