වගකිවයුත්තන් වගකීම බාර ගත යුතුයි : ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

 ඡායාරූපය:

වගකිවයුත්තන් වගකීම බාර ගත යුතුයි : ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

දිවයින පුරා පසුගිය ඉරිදා (21) සිදුවූ පිපිරීම් නිසැකයෙන්ම වසර 7ක් හෝ 8ක් සැලසුම් කර සිදු කරන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේදීය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“එල්.ටී.ටී.ඊ. සංවිධානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට වසර 12ක් පමණ ගත වුණා. මොවුන් එය එකවරම සිදු කළේ නිසැක වශයෙන්ම වසර කීපයක සැලසුමක් මතයි. මියගිය ත්‍රස්තවාදීන් කිහිප දෙනා පමණක් නොව, තවත් 300 - 400ක් වැනි ප්‍රමාණයක් ලංකාවේ සිටිය හැකියි.

“අපේ රටේ සිදුවූ විශාලම ඛේදවාචකයටයි දවස් කීපයකට පෙර අපි මුහුණ දුන්නේ. වසර 32ක් පුරා පැවති යුද්ධයක වුවත් එකම දිනකදී මෙවැනි විශාල ඛේදවාචකයක් සිදු වූයේ නෑ. එයට හේතුව හෙමින් පටන්ගෙන පසුව වර්ධනය වූ නිසා එයට හමුදාව හා රට මුහුණ දීමට පුරුදුව සිටීමයි.

“360 දෙනෙකු මියගොස් 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා මුළුමහත් රටම දුක් වෙන තත්ත්වයකට පත් වෙලා. මම දේශපාලන භේදයකින් තොරව රටේ පැත්තේ සිටයි මේ පිළිබඳව අදහස් දක්වන්නේ. රටට සේවය කළ අයෙකු විදිහට රටක් ලෙස මුහුණ දුන් මෙම ඛේදවාචකය ගැන මට වේදනාවක් තිබෙනවා. මේ වෙලාවේ ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයන් ආරක්ෂා කිරීම අදාළ වන්නේ නෑ.

“රට ගොඩ ගන්නේ කෙසේද, රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන යථාර්ථයට මුහුණ දී කතා කළ යුතුයි. වසර 32ක් දුක් විඳලා රට බේරා ගත්තේ. දේශපාලන හා හමුදා නිලධාරීන්ගේ දුර්වලතා මත මෙවැනි කාලයක් පුරා යුද්ධය ඇදී ගියා. නැතිනම් ඒ යුද්ධයත් වසර කීපයකට පෙර අවසන් කිරීමට ඉඩ තිබුණා. නමුත් එවැනි දුර්වලතා ප්‍රභාකරන් වැනි අය හඳුනා ගත් නිසා යුද්ධය වසර 32ක් පුරා ඇදී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස රට වැසියා බොහෝ දුක් වින්දා.

“අද නැවතත් ජනතාවට භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙලා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මේ තත්ත්වයට පැමිණීමට විශාල කාලයක් ගත වුණා. නමුත් දැන් ත්‍රස්තවාදය විශාල තැනකිනුයි ආරම්භ කර තිබෙන්නේ. ත්‍රස්තවාදීන් දෙපිරිසකගේ අරමුණු වෙනස්.

“රට බෙදන්න ආව නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය භූමිය මත පදනම්ව විනාශ වෙලා ගියා. මොවුන් පැමිණ ඇත්තේ රට බෙදීමට නොව, ප්‍රහාර එල්ල කිරීමටයි. ඔවුන්ගේ ආගමට යම් ප්‍රතිරූපයක් ගොඩනැඟීම සඳහායි මේ වගේ ප්‍රහාර එල්ල කරන්නේ. මෙය ඉතා දරුණු විසබීජයක්. දැනටත් නැවතත් ජනතාවගේ ජීවිතවල අවිනිශ්චිත තත්ත්වයක් හටගෙන තිබෙනවා. එකතු වෙලා මේ තත්ත්වය ජයග්‍රහණය කළ යුතුයි. අහන්න අකමැති වුවත් විශේෂයෙන් දේශපාලනඥයන් පහුගිය යුද්ධය අවසන් වූ පසුව නිවැරදි මාර්ගයේ ගියේ නෑ. මේක මගේ මතය. මෙයට විරුද්ධ වීමට ඕනෑම අයකුට පුළුවන්.

“යුද්ධය අවසන් වූ වහාම අපට විශාල උත්සවාකාර ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබුණා. එය වරදක් නෙවෙයි. දේශපාලනඥයන් මෙන්ම හමුදා නිලධාරීන් ලෙස ඔවුනුත් විනෝදකාරී ලෙස ජීවත් නොවී එයින් එහාට ගොස් වගකීමකින් රට ආරක්ෂා කිරීමට පෙලඹීමට ඉඩ තිබුණා. රටක් රැකීමට දේශපාලනඥයන්ට හා හමුදා නිලධාරීන්ට යුද්ධයක් තියෙන්නම අවශ්‍ය වන්නේ නෑ. ඒ වගකීම අපි පැහැර හැරලා. යුද්ධය අවසන් වූ දිනයේ සිට විනෝදකාමීත්වය හොඳින් තිබුණා. අවදානම් සහිත තැන් අපි කිසි විටෙකත් තේරුම් ගත්තේ නෑ.

“රටක ආරක්ෂාව කියන්නේ ප්‍රමුඛතා මත පළමු වන ස්ථානය. ආර්ථිකය ප්‍රමුඛතා මත දෙවැනි ස්ථානයේ තිබෙන්නේ. හැබැයි අපේ දේශපාලනඥයන් ආරක්ෂාව වෙනුවෙන් අවධානය අඩුවෙන් යොමු කළා.

“යම් රටක ආරක්ෂාව නැතැයි යනු, වගකිව යුත්තන් ඒ වගකීම ඉටු කර නෑ කියන එකයි. එයින් අපට ගැළවිය නොහැකියි.

“කුමන පක්ෂයක සිටියත් මෙම තත්ත්වයට වගකිව යුතුයි. පසුගිය දිනවල ඇති වූ සිද්ධිය ගැන විදෙස් බුද්ධි අංශ දැනුම් දී ඇත්නම් එහි වගකීමක් ඔවුන්ට තිබුණා.

“අද ඇතිව තිබෙන තත්ත්වයට පසුගිය වසර 10 පුරා තිබූ සියලු ආණ්ඩු වගකිව යුතුයි. වැරදි හදාගෙන ඉදිරියට ගත යුතු පියවර ගැනීමට වගබලා ගත යුතුයි.

“නාමල් කුමාර හෝ මධුෂ් වැනි අයට ලබා දුන් ප්‍රමුඛස්ථානය හෝ මෙවැනි තොරතුරක් සම්බන්ධයෙන් ලබා දී නෑ.”

මාතෘකා