මෙය උමතු ත්‍රස්තවාදයක් : අමාත්‍ය පාඨලී චම්පික රණවක

 ඡායාරූපය:

මෙය උමතු ත්‍රස්තවාදයක් : අමාත්‍ය පාඨලී චම්පික රණවක

මේ වන විට ලංකාව තුළ පවතින්නේ ආගමික උමතුවක් විසින් මෙහෙයවන ත්‍රස්තවාදයක් බැවින් මෙය පරාජය කිරීමට මනුෂ්‍යත්වය අගය කරන බලවේග දේශපාලනමය වශයෙන් එකට එකතු විය යුතු බවත් මෙම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තියෙන ඕනෑම දේශපාලන සන්ධානයකට තමා නොපැකිළව සහයෝගය ලබාදෙන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය කැඳවීම සම්බන්ධ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"අද අපි සියලු දෙනාම දන්නවා අන්තර්ජාතික ඉස්ලාමීය මූලධර්මවාදී ත්‍රස්තවාදයක් වන ISIS සංවිධානය ශ්‍රී ලංකාවේ ඉතා භයානක වියරු ප්‍රහාරයක් දියත් කරලා තියෙන බව. එවැනි සිදුවීමක් සිදුවුණු හැටියේ අපේ ඉතිහාසයේ අපි කරන වැරදි ගණනාවක් තියෙනවා. පළමුවැනි වරද තමයි අපි මේක හරහා දේශපාලනය කරන්න බලනවා. අරයට මෙයාට චෝදනා කරනවා. අපි හිටියා නම් මීට වඩා හොඳට කරන්න පුළුවන් කියලා කියනවා. මේක එල්ටීටීඊ ත්‍රස්තවාදය තියෙන කාලෙත් “වෙනත් ගැටුම් පැවතුණු අවස්ථාවලදිත් අපි දැක්කා. අපි අතර දේශපාලන භේදභින්නතාවය මේකෙන් ආරම්භ කරනවා. ඒ වගේම දේශපාලන මැදිහත් වීම ආරක්ෂක අංශ මර්දනය කරන ගියාම ඒකට අතගහනවා. අපේ හිතවතා, ඥාතියා, පාක්ෂිකයා මුදවා ගන්න කටයුතු කරනවා. ඒ හරහා සමහර විට අපිම අවසානයේ මරණය ගෙන්වා ගන්නවා. අපි අතීතයේ කරන එකම වැරැද්දක් දැනුත් සිදුකරමින් තියෙනවා.

“දෙවැන්න තමයි මෙවැනි සිදුවීමක් සිදුවූ වහාම එන කුමන්ත්‍රණ කතාව. මේක සිද්ධ වෙන්න ඇත්තේ අහවල්ලු විසින්, මේ අකාරයට කියලා නියම හතුරා අමතක කරලා කුමන්ත්‍රණ ගණනාවක් ගොඩනැඟෙනවා. මේ සියලුදෙනා දන්නවා ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරණතුංග, රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ඝාතනය වුණාම චන්ද්‍රිකා මැතිණිය ඝාතනය කරන්න උත්සාහ කළාම ඒ වගකීම වෙනත් අයට පවරලා කුමන්ත්‍රණයක් ගෙනල්ලා සැබෑ ත්‍රස්තවාදියාට අපරාධකාරයාට ආරක්ෂාව, රැකවරණය ලැබුණා.

“තුන්වෙනුව මේවා සම්බන්ධයෙන් සමාජ දේශපාලන විග්‍රහයන් කරනවා. මේක මතුවුණේ මේ අසාධාරණය නිසා, මේ අධිරාජ්‍යවාදය නිසා කියලා සමාජ දේශපාලන විග්‍රහයන් කරලා මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට සමාජ දේශපාලන පසුබිමක් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මෙතනදී හරි කවුද වැරදි කවුද කියන ප්‍රශ්නයට වඩා කොතැනද අපට වැරදුණේ කියලා බලලා වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ ගැටුම ජයගන්න නම් ඒ සඳහා අවශ්‍ය කරන පුද්ගලයන් ඉතා වැදගත්. ඒ පුද්ගලයන් පමණක් නෙවෙයි මේ ක්‍රමයේ සහ අපේ ආරක්ෂක විධිවිධානවල වෙනසක් ඇති කරන්න අපි සියලුදෙනාම කටයුතු කරන්න ඕනේ.

“ඊයේ IS එක නිල වශයෙන් ප්‍රහාරයේ වගකීම බාරගත්තේ නැති නම් අද වෙනකොට කුමන්ත්‍රණවලින් තවත් මේ රට විශාල වශයෙන් අපහසුතාවකට, සිදුවුණේ මොකද්ද කියලා හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.

“ඉරාකයට එල්ල වෙච්ච ප්‍රහාරයත් එක්ක ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් වූ සදාම් හුසේන්ගේ අනුගාමිකයන් අතරින් තමයි අල්සර්කාවිගේ මේ ව්‍යාපාරය ආරම්භ වුණේ. ඔහුගෙන් පසු මේක අල්බැග්ඩාගේ අතට ගියා. ඔහු කලිපාතයක් ප්‍රකාශයට පත් කළා. ඉස්ලාමීය ඉතිහාසයේ නිරන්තරයෙන්ම මූලධර්මයක් සහිත රටක් මැදහත් කරගෙන තමයි ඒ අධිරාජ්‍යය පැවතුණේ. ඔටෝමාන් කලිපාතය ඇද වැටුණාට පස්සේ මේ කලිපාතය මොහු බිහි කළාම හතළිස් දහසකට අධික තරුණ තරුණියන් පිරිසක් ගිහිල්ලා ඔහුගේ ISIS ව්‍යාපාරයට බැඳුණා. ලංකාවේ පවුල් හතරකට පහකට අයිති ඉතාම වැදහත් උගත් කියලා කියන පිරිස් සිරියාවට, ඉරාකෙට ගිහිල්ලා සටන්කාමීන් හැටියට ඔවුන්ට සේවය කළා. ඒ තොරතුරු සියල්ලම අපේ බුද්ධි අංශයේ වාර්තා වුණා.

“පසුගිය දහස් වර්ෂය පුරාම අන්තර්ජාතිකව ක්‍රිස්තියානි ධර්මයත් ඉස්ලාම් ධර්මයත් අතර කුරුස යුද්ධයේ ඉඳන් පැවත එන ඒ ක්‍රියාදාමයේම කොටසක් හැටියට තමයි මේක ගිහින් තියෙන්නේ. ඒක ISISලාගේ ප්‍රකාශයෙත් තියෙනවා. අපේ රටේ අහිංසක කතෝලික ජනතාව ඉරාක ආක්‍රමණයට ගියේ නැහැ. අපේ රටේ කතෝලික ජනතාව සිරියාව ආක්‍රමණයට ගියේ නැහැ. නමුත් ඔවුන් කතෝලිකයන් වීම නිසා මඩකලපුවේ, මීගමුවේ, කොච්චිකඩේ ඔවුන් ඝාතනයට ලක්වුණේ ඒ අයගේ උමතු ආගමික මතවාදීය ක්‍රියාවලිය නිසයි. ඔවුන් විදේශිකයන්ට පහර දුන්නේ බටහිර ලෝකයේ අද පවතින තත්ත්වය නිසා තවදුරටත් ඒවායේ ඝාතන කරන්න බැරිකම නිසා අපේ රටේ සංචාරකයින්ට පහරදීලා ඔවුන් විශ්වාස කරනවා ඒ තුළින් පණිවිඩයක් දෙන්න.

එල්ටීටීඊ සංවිධානය එතනට බිහිවෙන්න ඓතිහාසික පරිණාමයක් තිබුණා. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කරපු අරගලයක් තිබුණා. ජවිපේ කරගෙන ගිය සටනට අරමුණක් තිබුණා සමාජවාදය බිහි කර ගැනීමට කියලා. නමුත් මේ ත්‍රස්තවාදයේ අරමුණ කලිපාතය නෙමෙයි. ඔවුන්ගේ සියලුම බිම් ඔවුන්ට අහිමි වෙලා ඉවරයි. ඔවුන්ගේ අරමුණ උපරිම ව්‍යසනය, උපරිම විනාශය මේ ලෝකයට අරගෙන ඒමයි. ඒ නිසා අපි ඒක අවබෝධ කරගෙන එහි ඇති ජාත්‍යන්තර ක්‍රියාවලිය අවබෝධ කරගෙන කටයුතු කළ යුතු වෙනවා. මේ ආගමික ක්‍රියාවලියේදී අපිට පුළුවන් සංවාද කරන්න, සාකච්ඡා කරන්න. නමුත් ඉන් ඔබ්බට ගිහිල්ලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන්න, තමන්ගේ නොවන ආගමිකයන් ඝාතනය කරන්න උත්සාහ කරනවා නම් එය වැළැක්වීමට අනිවාර්යෙන්ම අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා අපේ සන්නද්ධ, නීතියම, සමාජමය උපකරණ සියල්ලම භාවිතා කරලා ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේක මේ සමාජ සංවාදවලින් සමාජ විග්‍රහවලින් විසඳන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි. මේක ව්‍යාප්තවාදී ත්‍රස්තවාදී ගැටලුවක්.

“මෙතනදී විශේෂයෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදයේදී ඒ භූමිවලට ගිහිල්ලා කාලතුවක්කුවලින් මූණට මූණ සටන් කරනවා වගේ සටනක් නෙමෙයි මේක. විසි ලක්ෂයකට අධික මුස්ලිම් ජනතාව අතරේ දෙතුන් සීයක් මේ අන්තවාදීන් විවිධ ස්ථානවල සැඟවී ක්‍රියා කරනවා. ඔවුන් සොයා ඔවුන්ව විනාශ කිරීම සඳහා විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් අපේ ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ අය සඳහා ආයුධ කොහොමද එන්නේ, ධනය ගලා එන්නේ කොහොමද, විදේශවලින් පුහුණු ලැබෙන්නේ කොහොමද කියන එක ගැන අපි සොයා බැලිය යුතුයි. මේ සංවිධානයේ ලංකාවේ නායකයාගේ ආගමික නායකයා තමිල්නාඩුවේ. ඔහුව ඉන්දියානු ආරක්ෂක අංශවලින් කොටු කරගත්ත නිසා තමයි මේ තරමටවත් මේ පිළිබඳව අපට දැනුමක් ලැබුණේ.

“අපේ රටේ අපි දැක්කේ දුප්පත් පිරිස් වන්නියේ අවි අතට ගන්නවා. අද තියෙන්නේ මිල අධික වාහනවලින් ඇවිල්ලා හොටල් පුපුරවන ත්‍රස්තවාදයක් බව අප මතක තබාගත යුතුයි. ඔවුන්ට ඇති කිසිම ආර්ථික ප්‍රශ්නයක් නැහැ. මේක ආගමික උමතුවක් විසින් මෙහෙයවන එකක්. මෙය පරාජය කිරීමට සියලු දේශපාලන බලවේග එකට එකතු විය යුතුයි. ජනාධිපති අගමැති පමණක් නෙමෙයි විපක්ෂය, දෙමළ සන්ධානය සහ අනෙකුත් සියලු දේශපාලන පක්ෂ යන මනුෂ්‍යත්වය අගය කරන පිරිස් දේශපාලනමය වශයෙන් එකට එකතු විය යුතුයි. ඒ වගේම කිසිම ඇඟිලි ගැසීමකින් තොරව ආරක්ෂක අංශවලට මේ සඳහා අවශ්‍ය කරන ශක්තිය සහ සහයෝගය ලබාදිය යුතුයි. ඒ වගේම ත්‍රස්තවාදය පිළිබඳව අවුරුදු ගණනාවක් ක්‍රියා කළ පිරිස් හැටියට අපේ දේශපාලන හිතවත්කම් තියෙන්නේ රට වෙනුවෙන්. ඒ වෙනුවෙන් මේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තියෙන ඕනෑම දේශපාලන සන්ධානයකට අපි නොපැකිළව සහයෝගය ලබාදෙනවා විතරක් නෙමෙයි ඒ සඳහා අපි ක්‍රියා කිරීමටත් සූදානම්."

මාතෘකා