අහිංසකයන්ගේ බලාපොරොත්තුව

 ඡායාරූපය:

අහිංසකයන්ගේ බලාපොරොත්තුව

යුද්ධය අවසන් වීමේ සිට ශ්‍රී ලංකාවෙහි දේශපාලන වාතාවරණයෙන් පෙනී යන්නේ බලයේ කවුරුන් සිටියත් කවුරුන් බලය සඳහා තරග වැදුණත් සෑම කෙනකු විසින්ම ප්‍රමුඛතාව ලබා දුන් නොවෙනස් වන එක් ප්‍රතිපත්තියක් වූ බවයි. එනම් ප්‍රගතිශීලී හා නිර්බාධිත සමාජ - ආර්ථික සංවර්ධනයයි. මේ සඳහා සියල්ල ඇතුළත් කර ගැනීම හා වෙනස් කොට නොසැලකීම බලපායි. මන්ද යත් එක් කණ්ඩායමක්, ප්‍රජාවක් හෝ සමාජ පන්තියක් පමණක් ඉන් ප්‍රතිලාභ ලබන්නේ නම් රටක් සැබැවින්ම සංවර්ධනය විය නොහැක. මූලික වශයෙන් සියලු දෙනා හට ප්‍රගතියක් නොමැතිව සංවර්ධනය කරා ගමන් කළ නොහැක.

පසුගිය දශක 3 තුළ වූ ප්‍රචණ්ඩත්වය මඟින් බලපෑමට ලක් වූ බොහෝ දෙනාගේ මානව හිමිකම් උල්ලංඝනය වීමට අමතරව ඔවුන්ට තම නිවෙස්, ඉඩම් හා ජීවනෝපායන්ද අහිමි වූ අතර එමඟින් ඔවුන්ගේ සංවර්ධනයට ඇති හිමිකමට බාධා එල්ල විය. ඔවුන්ගෙන් බොහෝ දෙනාට තම නිවෙස් වෙත යළිත් යෑමට නොහැකි නම්, රැකියාවක් සොයා ගැනීමට නොහැකි නම්, ජීවිතය යථා තත්ත්වයට පත් කරගත නොහැකි නම් ඔවුන්ට සාමය යනු අරුත් සුන් වූවකි. ඔවුන්ගේ සිහිනවල අහස උසැති ගොඩනැඟිලි, වරාය නගර, ජාත්‍යන්තර හෝටල් දාම හෝ සාප්පු සංකීර්ණ නොමැති අතර එම සිහිනවල ඇත්තේ ආහාර, ආරක්ෂාව, සෞඛ්‍යාරක්ෂණය හා වැදගත් රැකියාවකි. රටේ බහුතර ජනතාවට අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට අවශ්‍ය මුදල් නොමැති නම් දිලිසෙන නව ගොඩනැඟිලිවලින් ඇති ඵලය කුමක්ද?

සංහිඳියාව පිළිබඳ න්‍යායපත්‍රය වැදගත් වන්නේ මෙහිදීය. “හානිපූරණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත” 2018 ජුනි 25 දින ගැසට් කරන ලද අතර 2018 ජුනි 17 වැනි දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය රජයන් විසින් ගතවූ කාලය පුරාවට විවිධ ආකාරයේ හානිපූරණයන් සිදු කළද හානිපූරණයන් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇතැම් පුද්ගලයෝ පුදුමයෙන්ද ඇතැම් පුද්ගලයෝ කෝපයෙන්ද මෙයට ප්‍රතිචාර දක්වති.

සරලව කිවහොත් හානිපූරණය මඟින් වැරදි ක්‍රියාවන් හඳුනාගෙන ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් වේදනා විඳි වින්දිතයන් සඳහා සහන සලසනු ලැබේ. වින්දිතයන්ගේ හිමිකම් යළි ගොඩනැඟීම හා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය විසින් ගන්නා පියවර එයට ඇතුළත් වේ. මෙය සිදු වන්නේ උතුරු හා නැඟෙනහිර ගැටුම් අවසන් වී දස වසරකට පසුව හෝ දකුණේ තරුණ කැරලිකරුවන්ගේ එක් පරම්පරාවකට පසුව හෝ සුළු ජාතීන් වෙත ප්‍රහාර එල්ල වී වසර ගණනාවකට පසුව වුවත් කම් නැත. බොහෝ ශ්‍රී ලාංකිකයෝ තවමත් ශාරීරික ආබාධ, දේපළ අහිමි වීම, දරිද්‍රතාව, කොන් වීම ආදියෙන් පීඩා විඳිති. මෙහි පාඨකයා ඔවුන්ගෙන් කෙනකු නොවුණත් වරප්‍රසාද සහිත වූවන් සිටීමෙන් වින්දිතයන් නැතැයි යන්න හෝ ඔවුන් සමග සහයෝගීතාවයෙන් සිටීමට අප බැඳී නැතැයි යන්න හෝ අදහස් නොවේ.

ආබාධිත පුද්ගලයන් හෝ පවුලේ උපයන්නා අතුරුදන් වී හෝ මිය ගොස් ඇති ගෘහ ඒකක වැනි දිළිඳු සහ බලපෑමට ලක් විය හැකි කණ්ඩායම් සඳහා මූලික අවශ්‍යතා සැපයීම කළ හැකිය. ඒ මඟින් දුක් පීඩාවන් දුරු කිරීම හා තම මූලික අයිතිවාසිකම් අහිමි වූ කොන්කරන ලද කණ්ඩායම් කෙරෙහි දිගු කලක් පුරාවට පැවති වෙනස් කොට සැලකීම් සඳහා පිළියම් ලබා දීම මගින් ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය හඳුනා ගැනීමට හා මර්දනය කිරීමට හානිපූරණයන් උපකාරී වේ. උදාහරණ ලෙස තම ස්වාමි පුරුෂයන් මිය ගිය හෝ අතුරුදන් වූ කාන්තාවන් සඳහා හානිපූරණයන් විශේෂයෙන් වැදගත් වේ. මෙම කාන්තාවන් හට තම පවුල් නඩත්තු කිරීමට සිදු වන්නේ ඉතා අඩු සහායක් සහිතව හා බොහෝ විට නොසලකා හැරීම්, ගැරහුම් හා අපයෝජනයන්ට මුහුණ දෙමින්ය. හානිපූරණය ලාංකික බොහොමයකගේ අහිංසක බලාපොරොත්තුවකි.

[සුලෝචනා රාජපක්ෂ]

මාතෘකා