කතා කරන භාෂාවෙන් මිනිසුන් බෙදීම වැරදියි කුරාණය සිංහලයට පරිවර්තනය කිරීම අගයනවා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

කතා කරන භාෂාවෙන් මිනිසුන් බෙදීම වැරදියි කුරාණය සිංහලයට පරිවර්තනය කිරීම අගයනවා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

“අද ලෝකයේ ජීවත් වන මිනිසුන් බෙදී වෙන්වී සිටින අංශ කිහිපයක් තිබෙනවා. ධනය ඇති අය පොහොසතුන් විදියටත් ධනය නැති අය දුප්පතුන් විදියටත් බෙදිලා තියෙනවා. ඒ වගේම කතා කරන භාෂාව අනුව මිනිසුන් බෙදීම ලෝකයේ ප්‍රබල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ තුළින් දැක්වෙන්නේ නොදියුණු සමාජයක ලක්ෂණයක්” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල් කුරාණය එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

"තමුන්නාන්සේලාගේ සංගමයේ සභාපතිතුමා සඳහන් කළ විදියට අල් කුරාණය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම මේ යුගයේ වැදගත් සිදුවීමක් විදියට ඉතිහාසයට එකතු වෙනවා. උගත් සමාජය, බුද්ධිමත් සමාජය, දියුණු සමාජය කිසිවිටෙකත් භාෂාව නිසා බෙදෙන්නේ නැහැ. අපේ රට බ්‍රිතාන්‍ය පාලකයින් අල්ලාගෙන සිටි කාලය තුළ සිංහල සටන්කාමීන් සමඟ මුස්ලිම් සටන්කාමීන් එකට එකතුවෙලා බ්‍රිතාන්‍ය පාලකයින්ට විරුද්ධව සටන් කළා.

අවසාන සිංහල රජවරුන් අවසාන නායක්කාර් වංශික රජවරු රජකම් කළ කාලයේ ලංකාවේ සිංහල සහ ඉස්ලාම් ජනතාව එකතුවෙලා ආක්‍රමණික හමුදාවට විරුද්ධව සටන් කළා. ඒ එකතු වී කළ දෙයින් අපිට යටත් විජිත පාලනයෙන් මිදෙන්න පුළුවන්කම ලැබුණා. 1940 දශකයේදී සිංහල, දමිළ, ඉස්ලාම් මේ සියලු භාෂාවන් කතා කරන ජාතීන්ගේ නායකයින් එකට ඉඳලා සුද්දන්ට විරුද්ධව සටන් කළා. ඒ නිසයි අපට මේ රට නිදහස් කරගන්න පුළුවන් වුණේ.

"නමුත් අපේ රටේ දේශපාලනඥයින්ගේම තිබෙන වැරදි නිසා අපි භාෂාමය වශයෙන් බෙදිලා එකිනෙකාට වෛර කරන්න පටන් ගත්තා. සැකයෙන් බලන්න පටන් ගත්තා. මේ භාෂාව නිසයි බෙදුණේ. අපි සියලු දෙනා එකම ආහාර ගන්නවා නම් අපේ තියෙන ශරීර අවයව සියල්ලම එක නම් ඇයි අපි බෙදෙන්නේ කියන කාරණය පිළිබඳව විශේෂයෙන් අපේ රටේ උගතුන්ව, විද්වතුන්ව, සමාජය දැනුවත් කිරීම ඉතාමත්ම අවශ්‍යයි. අපිට අත්දැකීම් තිබෙනවා. පසුගිය වසර 50ක 60ක කාලය තුළ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ සමඟිය වගේම බෙදීම පිළිබඳව අපිට සතුටු විය හැකි සහ සතුටු විය නොහැකි කාරණා තිබෙනවා.

ඒ කාරණාවලදී මම විවෘතව චෝදනා කරන්නේ පක්ෂ භේදයකින් තොරව මේ රටේ දේශපාලනඥයින්ටයි. ඉන්දියාවේ භාෂාවන් 400ක් පමණ කතා කරන ජනතාව ඉන්නවා. ඒ ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් ඔබේ ජාතිය කුමක්ද කියලා ඒ සෑම කෙනෙක්ම කියන්නේ මම ඉන්දියන් ජාතිකයෙක් කියලා. නමුත් අපේ රටේ තමයි සිංහල ජාතිය, දමිළ ජාතිය, මුස්ලිම් ජාතිය කියලා බෙදීම තියෙන්නේ. මේ හේතුව අපේ රටේ දියුණුවට බාධාවක් වෙලා තියෙනවා.

ඒ වගේම අපේ ඉතිහාසයේදී දේශපාලනඥයින් කරලා තිබෙන වැරදි අතර මම දකින බරපතළ වරදක් තමයි සිංහල මහා විද්‍යාලය, දමිළ මහා විද්‍යාලය, මුස්ලිම් මහා විද්‍යාලය ආදී ලෙසට පාසල් නම් කරලා වෙන්කිරීම. එය මම දකින්නේ පසුගිය වසර ගණනාව තුළ අපි කරගත් ලොකු වරදක් විදියට. මම මීට සති කිහිපයකට පෙර පොළොන්නරුව නගරයේ පාසලක් විවෘත කරන්න ගියා. සිංහල, දමිළ, මුස්ලිම් ජාතීන්වල දරුවන් සියල්ලන්ම ඉගෙන ගන්නවා. ඒ දුන්න ආදර්ශය අපි මීට වසර ගණනකට කලින් දුන්නා නම් මම හිතනවා මේ ජාතීන් අතර තිබෙන බෙදීම, අවිශ්වාසය නැති වෙනවා කියලා.

"අල් කුරාණය සිංහලයට පරිවර්තනය කිරීම මේ රටේ ජාතික සංහිඳියාව ඇති කිරීමට ගත් විශිෂ්ට පියවරක්. සිංහල භාෂාවෙන් තිබෙන විට භාෂා භේදයකින් තොරව පාසල් දරුවන් මේක කියවනවා. ඒ කියවන විට එහි තිබෙන දර්ශනය පැහැදිලිව තේරුම් ගනී. ඒක තමයි ඉතාමත් වැදගත් වන්නේ. අපි බෞද්ධයින් විදියට ත්‍රිපිටකය, මුස්ලිම් ජනතාවගේ අල් කුරාණය, හින්දු ජනතාවගේ භගවත් ගීතාව වැනි දේ සෑම කෙනෙක්ම ඉගෙන ගන්නවා නම් අපි යහපත් මිනිසුන් වෙනවා. ඒ වගේම අපි අතර තිබෙන වෛරය නැති වෙනවා. සිංහල, දමිළ, මුස්ලිම් කියලා මේ ජාතීන් අතර තමයි ගැටුම් ඇති කරන්නේ. ඒ ගැටුම් ඇති කරගැනීමට හේතුවක් තිබෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන් දන්නවා මත්ද්‍රව්‍ය භාවිත කරන එක වැරදියි කියලා. නමුත් ඒවා භාවිතා කරනවා. ඒ වගේම නොයෙකුත් නීතිවිරෝධී වැඩ වැරදියි කියලා දැන දැන කරන පිරිසක් ඉන්නවා. මේ ගැටුම් ඇති වෙන්නේ ඒ විදියටයි. බෞද්ධ වුණාට බෞද්ධ දර්ශනයේ තිබෙන ප්‍රතිපත්ති නැත්නම් වැඩක් නැහැ. දැන් ඔබ දන්නවා අපි යම්කිසි උත්සවයකට ගියාම පන්සිල් ගන්නවා. පන්සිල් පද පහේ තිබෙන වටිනාකම් ඔබලාගේ අල් කුරාණයේ තිබෙනවා. හැම ආගමක්ම තමන්ගේ දර්ශනය තුළ තිබෙන විදියට චරිතය හැඩගස්වාගෙන තිබෙනවා නම් ඒ ගැටුම් ඇති වෙන්නේ නැහැ.

"බෞද්ධද, හින්දුද, ක්‍රිස්තියානිද මේ සෑම කෙනෙක්ම තමාගේ ආගමික දර්ශනය තමන් පිළිපදින්නේ නැති වුණාම තමයි ගැටුම් ඇති වෙන්නේ. 2017දී මහනුවර ඇති වූ ගැටුම්වලදී මම මහනුවරට ගිහින් භික්ෂූන් වහන්සේලා, හින්දු පූජකතුමන්ලා, ඉස්ලාම් පුජකතුමන්ලා ඒ සියලුදෙනාත් අපේ මැති ඇමතිවරුනුත් ගෙන්වලා මහනුවර ජනාධිපති මන්දිරයේ සාකච්ඡා කරන්න පටන් ගත්තා, ගැටුම් අවසන් කිරීම සඳහා. නමුත් මම එතැනදී දැක්ක දේ ඒ පූජකතුමන්ලා අතරේත් ඒ ප්‍රශ්නය සාකච්ඡා කරලා විසඳන්න බැරිව ගියා. ඒක තමා ඇත්ත තත්ත්වය. ඒ සාකච්ඡාවලදී තම තමන් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා මිසක් හැමදෙනාම ප්‍රශ්නයට මැදිහත් වෙලා මධ්‍යස්ථව කතා නොකරන තත්ත්වයක් ඇති වුණා. පසුගිය අවුරුදු හතරක වැඩි කාලය තුළ මේ රටේ ජාතික සමඟිය, සංහිඳියාව ගොඩනැඟීමේ කාර්යයේදී බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලුම පූජකතුමන්ලා ගෙනල්ලා අපි වරින් වර ආගමික සහජීවනය සඳහා සාකච්ඡා පවත්වනවා. මෙතන සිටින පූජකතුමන්ලා ඒ සාකච්ඡා සඳහා සහභාගි වෙලා තිබෙනවා. ඒ සාකච්ඡාවට සෑම පාර්ශ්වකයකින්ම එන්නේ බොහොම උගත් නායකයින්. උගත් බුද්ධිමත් මේ නායකයින් අතර සාකච්ඡාවලදී අසීරු, අමාරු තත්ත්වයන් ඇති වෙනවා. කොච්චර ඉස්සරහට ගියත් අපි තමන්ගේ පැත්ත විතරක් කතා කරන්න පටන් ගන්නවා. මම මම ගැන කතා කළොත් අනෙක් අයත් එක්ක තියෙන ප්‍රශ්නයක් විසඳාගන්න බැහැ.