විනය එක්ක දැනුම බෙදන තැනට රට වෙනස් කරනවා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

විනය එක්ක දැනුම බෙදන තැනට රට වෙනස් කරනවා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ශිෂ්‍යත්ව විභාගය 5 වසරේදී නොව, 8 වසරේදී පැවැත්වීමේ යෝජනාව තුළින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ නවෝත්පාදන ආර්ථිකයක් ඇති කිරීම සඳහා දරුවන්ගේ කුසලතා ප්‍රයෝජනයට ගැනීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හරිත ආර්ථිකය තුළ දරුවා සුදුසු ක්ෂේත්‍රවලට යොමු කිරීමෙන් විශ්වවිද්‍යාලවලින් පිටතට පැමිණ වසර ගණනක් මහ පාරේ පෙළපාළි යමින් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කරන ක්‍රමය නැති කළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ පසුගියදා (05) මහර, කඩවත මහාමායා විද්‍යාලයේ ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“අපි අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් පාසලක අවශ්‍ය දේවල්වලින් ප්‍රමුඛතාවය හඳුනා ගැනීම ඉතාමත් අවශ්‍යයි. මේ දවස්වල හැම පාසලකටම ගියහම මම එක කාරණයක් කියනවා. අදත් මෙතනත් ඒක කියනවා. ඒ තමයි පහේ ශිෂ්‍යත්ව විභාගය වෙනස් වීම පිළිබඳව. මං හැමතැනම කියන්නේ මං කියපු දේ සමහර අය තේරුම් අරගෙන තියෙනවා. විශේෂයෙන් සමහර අම්මලා තේරුම් අරගෙන නැහැ. මට ආරංචි වෙනවා දොස් කියනවා කියලා. ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරලා කොහොමද, අපේ ළමයාව හොඳ ඉස්කෝලෙකට දාගන්න තිබ්බ අවස්ථාව නැතුව යනවානේ කියලා.

“ඇත්තෙන්ම ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නේ එකපාරට අද හෙට නෙවෙයි. ඊට විකල්ප වැඩපිළිවෙළක් සමඟ. ඒකට අවුරුදු දෙකක් විතර යයි. ඒ විකල්ප වැඩපිළිවෙළ කුමක්ද? මම හිතන්නේ 5 ශිෂ්‍යත්වය ආරම්භ වුණේ ඔය අද පවත්වන තරගකාරී විභාගයකින්, ඔය හොඳයි කියලා කියන පාසලක් ලබාගන්න නෙමෙයි. 5 ශිෂ්‍යත්වය ආරම්භ වුණේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළ රටේ ආර්ථික අමාරුකම් දැඩි ලෙස තියෙන ඉතාමත් දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විභාගයක් පවත්වලා ඒ දුප්පත්ම පවුල්වල දරුවන්ට ඉගෙන ගන්න පාසලක් තෝරගෙන අපහසුකම් තිබෙන ඒ දරුවා වෙනුවෙන් රජය යම්කිසි වැය බරක් දැරීමට. ඒක තමා ප්‍රතිපත්තිය. නමුත් පසුකාලීනව මෙය වෙනත් පැත්තකට ගියා. ඒ තුළ තරගකාරීත්වය ඇතිවුණා. මම හිතන්නේ මම ඕන නෑ 5 ශිෂ්‍යත්වයෙන් දරුවන් විඳින දුක පැහැදිලි කරන්න. අම්මලාට තියෙන මානසික පීඩනය. අම්මාගේ තාත්තාගේ ඒ සඳහා තියෙන බලාපොරොත්තු එක්ක මවුපියොත් දරුවොත් මොනතරම් අසීරු අමාරු සටනක්ද 5 ශිෂ්‍යත්වයත් එක්ක කරන්නේ. ඒ ඇයි කියලා අහපුවහම කියන්නේ හොඳ පාසලක් ගන්න කියලයි. එහෙමනම් හොඳ පාසලක් කියලා කියනවා නම් ලංකාවේ නරක පාසලුත් තියෙනවා. එහෙමනම් ළමයා ඉන්නේ නරක පාසලක. හැබැයි අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ හොඳ පාසලක් සහ නරක පාසලක් කියලා වෙන් කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම නැත්නම් හොඳ නැති පාසලක් කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යත්ව විභාගය තුළ බලාපොරොත්තු වෙන්නේ 5 අවලංගු කරලා අටේ පන්තියේදී ඒ දරුවාගේ දක්ෂකම් අනුව අදාළ එක් එක් විෂය ක්ෂේත්‍රවලට ඒ දරුවා තෝරලා වෙන් කිරීමයි. ඒ වෙන් කරනකොට කොළඹ දරුවකුට හම්බවෙන්න පුළුවන් සමහර වේලාවට පොළොන්නරුවේ පාසලක්. ඒ වගේම ගාල්ලේ දරුවකුට හමබවෙන්න පුළුවන් මහනුවර පාසලක්. ඒ මොකද එක් එක් පාසල් වර්ගීකරණය කරලා ඒ පාසල ඒ විශේෂිත විෂය ක්ෂේත්‍රයක් සඳහා පුළුල් කරනවා. ඒ අනුව තමා මේ කටයුතු කෙරෙන්නේ.

“එතකොට මම තව දෙයක් කියන්නට ඕන. මම පාර්ලිමේන්තුවට පත්වුණේ 1989 පෙබරවාරි මාසේ. 1989 පෙබරවාරි මාසේ මම පාර්ලිමේන්තුවට පත්වන විට මට දරුවෝ දෙන්නයි හිටියේ. දුවලා දෙන්නා විතරයි. මන්ත්‍රීවරයෙක් වුණාට පස්සේ තමයි මට පුතෙක් හම්බුණේ. ඉතින් මගේ දුවලා දෙන්න ගම්පහ ගෝතමියට තමයි මම දැම්මේ මන්ත්‍රීවරයෙක් වෙන්න ඉස්සරවෙලා. හරියටම පන්තිය මතක නැහැ. ඒ අතරේ මාව මන්ත්‍රීවරයෙක් විදියට තේරුණා පාර්ලිමේන්තුවට. මං මොකද කළේ? සාමාන්‍යයෙන් ඈත ප්‍රදේශවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට තේරිච්ච ගමන් එයාගේ පළමුවෙනි කාර්ය තමයි පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා එක්කම තමන්ගේ දරුවන්ව ගෙනල්ලා කොළඹ පාසලකට දාන එක. මම ඒ දේ නොකළ කෙනෙක්. මම කරපු දේ මං දන්නෑ කිසිම මන්ත්‍රීවරයෙක් කරලා ඇති කියලා. කිසිම අම්මා තාත්තා කෙනෙකුත් කරන්නේ නැති දෙයක්. මොකක්ද ඒ? මං මන්ත්‍රීවරයෙක් වුණාම ගම්පහ ගෝතමී එකේ ඉගෙන ගත්ත මගේ දූලා දෙන්නා ඒකෙන් අස් කරගෙන මම ඉගෙන ගත්ත පොළොන්නරුව රාජකීය විද්‍යාලයට ගිහින් දැම්මා. මං කිව්වා ගම්පහ, කොළඹ පාසලකට වැඩිය මම ඉගෙන ගත්ත පාසලේ ඔයාලා ඉගෙන ගන්න කියලා. මගේ දරුවෝ තුන්දෙනාම ගියේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයටයි.

“2001 තිබිබ්ච මැතිවරණයේදී ආණ්ඩු පෙරළියක් ඇති වුණා. ඒ ආණ්ඩු පෙරළියේ ප්‍රතිඵලය මගේ දරුවෝ තුන්දෙනාට රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න අපහසුතාවක් ඇතිවීමයි බොහෝ ප්‍රශ්න ඇතිවුණා. දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මං ගෙදර ඉන්නවානම් මාව බදාගෙන අඬනවා ඉස්කෝලේ යන්න බෑ කියලා. අම්මාව බදාගෙන අඬනවා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා අපිට ඉස්කොලේ යන්න බැහැ කියලා. ඒ මැතිවරණ ප්‍රතිඵලය ලංකාවේ දේශපාලන සාදාචාරය සහ ලංකාවේ තිබෙන දේශපාලන සංස්කෘතියේ පහත් බවේ ප්‍රතිඵලයක්. ඊට පස්සේ මං මගේ දරුවන්ව කොළඹට ගෙනාවා ඒ ප්‍රශ්නය නිසා. නැත්නම් මම ගේන්නේ නැහැ. මගේ දරුවෝ තුන්දෙනාම අද උපාධිධාරීන්. එක් එක් විෂය ක්ෂේත්‍රවල. නමුත් මම මගේ ප්‍රතිපත්තිය මං මේ පැහැදිලි කළේ. විශේෂයෙන් මේ අධ්‍යාපනයේ තිබෙන තරගකාරීත්වයේදී විභාග සමත් වීමේ දැඩි අවශ්‍යතාව වගේම මේ මම කියන යෝජනාව තුළ 5 අවලංගු කරලා 8 තියලා ඒ එක් එක් විෂය ක්ෂේත්‍රයන්ට දරුවන් තේරීම තුළ බලාපොරොත්තු වෙන අංක එක තමයි නවෝත්පාදන ආර්ථිකය. අපි කතා කරන හරිත ආර්ථිකය තුළ දරුවා සුදුසු ක්ෂේත්‍රවලට යොමු කරලා කලා උපාධිය අරගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා අවුරුදු ගාණක් බෝඩ් උස්සගෙන මහ පාරේ පෙළපාළි යන රස්සාවල් ඉල්ලන උද්ඝෝෂණය කරන ක්‍රමය නැති කිරීමේ ප්‍රධාන විසඳුමක් ඒක. ලෝකයේ බොහෝ රටවල දියුණු තත්ත්වය එයයි. දැන් බලන්න අපේ පාසල්වල තත්ත්වය මේ පාසලේ 2,100ක්, කොළඹ රාජකීය විද්‍යාලයේ 8,000යි, විශාඛා 7,000යි. ආනන්ද විද්‍යාලයේ 6,000කට වැඩියි. මම රටවල්වලට ගියහම ගියදේ වගේම ඒ ගියදේට වඩා අමතර දේවල් සොයලා බලනවා. ජර්මනියේ, යුරෝපයේ පාසලක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබෙනවා පාසලක සිටිය යුතු දරුවන් ගණන සහ පන්තියේ දරුවන් ගාණ. පන්තියේ දරුවන් ගාණ 30යි. පාසලක උපරිමය 1,000යි. ඒක නීතිගත කරලා තිබෙනවා. ඒකේ මුලින්ම විනයත් එක්ක ඇතිවන දැනුමක්. එතැන්ට මේ රට වෙනස් වෙන්න ඕන.

මාතෘකා