බක්මහ දිවුරුමත් එක්ක මත්ද්‍රව්‍ය නසන සටන අරඹනවා : වෙසක්වලින් පසු මත්ද්‍රව්‍ය අහුවුණොත් වගකීම පොලිසියටයි

 ඡායාරූපය:

බක්මහ දිවුරුමත් එක්ක මත්ද්‍රව්‍ය නසන සටන අරඹනවා : වෙසක්වලින් පසු මත්ද්‍රව්‍ය අහුවුණොත් වගකීම පොලිසියටයි

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

තමුන්නාන්සේලා මාව ජනාධිපති කළාට පසුව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළවෙනි පනත තමයි මේ සිගරට්, අරක්කුවලට විරුද්ධව අලුතෙන් සම්මත කළ පනත. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගන්න බැරි වුණු තීන්දු අපි පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ, සිගරට් සහ අරක්කුවලට විරුද්ධවයි. නමුත් තත්ත්වය එන්න එන්නම වෙනස් වුණා. හෙරොයින්, හෂීස්, මරිජුවානා, කොකේන් වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රටේ බරපතළ ලෙස ව්‍යාප්ත වන බව පෙනුණා. ඒ නිසා අපි මේ වැඩේට අත ගැහුවා. මේක ලොකු අභියෝගයක්. ඒ අභියෝගය අපි බාර අරගෙන තිබෙනවා. ජනතාවගෙන් ඒ සඳහා සහයෝගය ලැබිලා තියෙනවා. යහපත් සමාජයක් හදන්න රටට ශක්තිමත් නීති තියෙන්න ඕනෑ. ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනෑ. දඬුවම් තියෙන්න ඕනෑ. ඒ දඬුවම් ක්‍රියාත්මක වෙන්න ඕනෑ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (31) මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“නීති විරෝධී මත්ද්‍රව්‍ය කලින් තිබ්බේ නගරයේ විතරයි. අද නගරයට වඩා ගමට ගිහිල්ලා. අද නගරයේ විශ්වවිද්‍යාලය තුළට රිංගලා. පාසල් ඇතුළට ගිහිල්ලා. ගෙවල් දොරවල්වල මවුපියෝ මොනතරම් දුක් විඳිනවද මේ මතට ඇබ්බැහි වූ දරුවන් නිසා. මවුපියෝ මොනතරම් කඳුළු බොනවද? මොනතරම් දේපළ විනාශ වෙනවද? මොනතරම් මවුපියන්ට හිරිහැර කරනවද? තමන්ගෙ සහෝදර සහෝදරියන්ට මොනතරම් හිරිහැර කරනවද? විශේෂයෙන්ම ආසියාතික රටවල, අප්‍රිකානු රටවල විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා. පොලීසිය, විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, යුද, නාවික, ගුවන් හමුදාව, මේ සියලු දෙනා මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය සඳහා එක්වෙලා තිබෙනවා. අද බරපතළ ලෙස මත්ද්‍රව්‍යවලට සමාජය ගොදුරු වී සිටින නිසා අපි සොයලා බැලුවා අපේ රටවල් මෙහෙම වෙන්නත් ධනවත් රටවල් මෙහෙම නොවෙන්නත් හේතුව කුමක්ද කියලා. ඒ රටවල්වල ඒ ආණ්ඩු ඉතාමත් මිල අධික අධි තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවා.

“මම පොලිසිය බාර අරගෙන මාස තුනහමාරයි. ඒ කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බළකාය පසුගිය අවුරුදු කිහිපය තුළ කළාට වඩා විශාල වැටලීම් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ සෑම කෙනෙක්ම තමන්ගේ රාජකාරිය ඉටු කළේ ජීවිත පරිත්‍යාගයෙන්. මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය විනාශ කරන්න ගිහිල්ලා පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ, නිලධාරීන් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. වෙඩි තියලා, බෝම්බ ගහලා, පිහියෙන් ඇනලා මරනවා.

“ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ආණ්ඩු කරවනවා. ආණ්ඩු හදනවා. තමන්ට අවශ්‍ය දේශපාලනඥයෝ බලයට පත් කරනවා. තමන්ට විරුද්ධ දේශපාලනඥයෝ බලයෙන් පහ කරනවා. මම මේක හොඳට දැනගෙන තමයි මේ වැඩේට අතගහලා තියෙන්නේ. මේ ජාවාරම්කාරයන්ගෙන් නොයකුත් බලපෑම් එල්ල වන නිසා මැතිවරණ කාලයේ දී මටත් තර්ජන පැමිණිය හැකි නිසා මටත් සද්ද නැතුව ඉන්න තිබුණා. නමුත් මම සෞඛ්‍ය ඇමැතිවරයා කාලයේ ඉඳලා විතරක් නෙමෙයි මම පාර්ලිමේන්තුවට අසූ නවයේ ආපු අවස්ථාවේ ඉඳලා ලංකාවේ මත්ද්‍රව්‍ය පාලනයට, නිවාරණයට තිබෙන ඇඩික් ආයතනයේ දේශනවලට ගියා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට. මම ඒ වැඩපිළිවෙළ දිගටම අරගෙන ආවා. සෞඛ්‍ය ඇමැතිවරයා කාලයේ සිගරට් අරක්කුවලට විරුද්ධව අලුත් නීති හැදුවා. ඒවා සම්මත කරගන්න අධිකරණයට යන්න සිද්ධ වුණා.

“අපි අ‍ෙප්‍ර්ල් 3 වෙනිදා (අද) උදේ 8.30ට ටොරින්ටන් චතුරස්‍රයේ දී ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන්, පාර්ලිමේන්තුවේ 225 දෙනා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, කතානායකතුමා ආණ්ඩුකාරවරු මහ ඇමැතිවරු සියලු දෙනා එකතු වෙලා බක්මහ දිවුරුම නමින් වැඩසටහනක් කරනවා. ඒ කරන්නේ මේ රටේ මත්ද්‍රව්‍යවලට විරුද්ධවයි. මේ රටේ ලක්ෂ හතළිහකට ආසන්න පාසල් දරුවෝ එදාට දිවුරුම් දෙනවා. මේ රටේ ලක්ෂ දාසයක් වන රාජ්‍ය සේවකයන් එදාට දිවුරුම් දෙනවා. මේ රටේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික අංශවලින් ඉල්ලීමක් කළා මේ ප්‍රතිඥාවට එකතු වෙන්නයි කියලා. අපිට රාජ්‍ය මාධ්‍යවලින් සහ පෞද්ගලික මාධ්‍යවලින් ලොකු සහයෝගයක් ලැබෙනවා එදාට. සියලු මාධ්‍ය විනාඩි දහයක් වෙන් කරාවි මේ දිවුරුමට. මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ නිවාරණය සඳහා මේ වැඩපිළිවෙළ අපි ශක්තිමත් කරනවා. මම මීට මාස කිහිපයකට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කැබිනට් මණ්ඩලයට නව පුනරුත්ථාපන අධිකාරියක් පිහිටුවන්න එකඟතාව ගත්තා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය පුනරුත්ථාපනය කරන කඳවුරු ගණනාවක් තියෙනවා. පොළොන්නරුවේ තමයි ලොකු එක. යුද හමුදාවෙන් පාලනය කරන එකක් තියනවා වැලිකන්දේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පූජකතුමන්ලා රාජ්‍ය නොවන සංවිධානවලින් මත්ද්‍රව්‍ය භාවිත කරන අය පුනරුත්ථාපනය කරන ආයතන රාශියක් තිබෙනවා. නමුත් මේවා ප්‍රමාණවත් මදි. ඒ නිසා නව පුනරුත්ථාපන අධිකාරියක් රජය අනුමත කළේ මීට මාස කිහිපයකට කලින්. මම ඒකට විශේෂඥ වෛද්‍යවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් මේ වනවිට පත් කරලා තිබෙනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වන්නේ පුනරුත්ථාපනය වර්ධනය කරන්න.

“මේ රටේ එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් මත්කුඩු, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එය ජාතික ඛේදවාචකයක්. මේක දවසෙන් දවස ව්‍යාප්ත වෙනවා. අපි බරපතළ දඬුවම් දෙනවා. අපි දේශන පවත්වා අවවාද, අනුශාසනා

මඟපෙන්වීම් කරනවා. එක් පැත්තකින් ආගමික පූජකවරුන්ගේ නායකත්වයෙන් විවිධ වැඩසටහන් කරනවා. අනිත් පැත්තෙන් පාසල් ගුරුවරුන්, වෛද්‍යවරුන්, රජයේ නිලධාරීන් මඟින් දේශන පවත්වලා නිවාරණ අංශය ශක්තිමත් කරනවා. ලබන සිංහල අවුරුද්දෙන් පස්සෙ යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බළකායේ ඔක්කොම එකතුවෙලා රටේ මත්ද්‍රව්‍ය වැඩි ප්‍රදේශවල වැටලීම් කරනවා වරින්වර.

“මානව හිමිකම් ගැන කවුරුවත් එදාට කතා කරන්න එන්න එපා. අපි මත්කුඩු බෙදන අය, විකුණන අය විතරක් නෙමෙයි මත්කුඩු පාවිච්චි කරන අයත් අත්අඩංගුවට ගන්නවා. එහෙම අල්ලපු ගමන්ම වෛද්‍යවරයකුගේ සහතිකයක් අරගෙන උසාවියට නොදා කෙලින්ම අරන් යන්නේ පුනරුත්ථාපන කඳවුරුවලට. තමුන්නාන්සේලාට නිදහස් ජීවිතයක් ගත කරන්න, සතුටින් ඉන්න, තමුන්නාන්සේලාගේ දරුවෝ හදාගන්න, හොඳ යහපත් අනාගතයක් ගොඩනඟන්න, තමුන්නාන්සේලාත් දායක වෙන්න. මේ මත්කුඩු, මත්ද්‍රව්‍ය විකුණන අය, බොන අයගේ තොරතුරු අපිට දෙන්න. අපි දුරකථන අංක මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ තොරතුරු එතනින් පිට වෙන්නේ නැහැ. ඒ නිසා එතනට තොරතුරු ලබාදෙන්න. ඉතාම විශ්වාසවන්ත නිලධාරීන් ටිකකට තමයි අපි ඒ වැඩේ බාර දීලා තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රසිද්ධ කරන දුරකථන අංකවලට කතා කරන්න. තුන්වැනිදා දිවුරුමේ ඉඳලා හරියටම සතියක් දිනපතා පත්තරවල වගේම විද්‍යුත් මාධ්‍යවලත් ඒ දුරකථන අංක පළ වෙනවා ඔබේ දැනගැනීම සඳහා. ඒ අංකවලට කතා කරලා තොරතුරු දෙන්න එතකොට එනවා අදාළ කට්ටිය. එහෙම නැතුව මේ රට හදන්න බෑ. නීති ශක්තිමත් කරන්න ඕන හොඳ සමාජයක් හදන්න. මේ සියල්ල තමුන්නාන්සේලා වෙනුවෙන්. අපි වෙනුවෙන් නෙමේ. මම පොලිසියේ නිලධාරී මහත්තුරුන්ට කියලා තියෙන්නේ ලබන වෙසක් මාසෙන් පස්සේ මේ රටේ කසිප්පු තියෙන්න බැහැ කියලයි. එහෙම වුණොත් ඒ කොට්ඨාසය බාර ඕ.අයි.සී. මහත්තයයි එස්.එස්.පී. මහත්තයයි වගකියන්න ඕන. කසිප්පු නිසා ඔබතුමාලට, මවුපියන්ට, දරුවන්ට මොනතරම් හිරිහැර වෙනවද? මේ රටේ දුප්පත්කම වැඩි ඇයි? එහෙම වෙලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය නිසා. එක ගමක එක සුමානෙකට මත්ද්‍රව්‍ය සඳහා කෝටි ගාණක් වියදම් කරනවා. මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නට පස්සේ පෝලිම් නැහැ. නමුත් අද අරක්කු විකුණන තැන්වල පෝලිම් තිබෙනවා.

“මේ ප්‍රශ්නය අපි විසඳනවා. ඒ සදඟා තමුන්නාන්සේලාගේ සහයෝගය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.”