මේ ගෞරව නාමයට සුදුසුම කෙනා සජිත් අමාත්‍යවරයායි : අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි

 ඡායාරූපය:

මේ ගෞරව නාමයට සුදුසුම කෙනා සජිත් අමාත්‍යවරයායි : අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි

මල්වතු මහා විහාරය මඟින් සජිත් ප්‍රේමදාස මහතාට ගෞරව නාමයක් ලබා දුන්නේ එතුමා සෑම අතින්ම එය ලබන්නට සුදුසු නිසා බවත් මෙම ගෞරව නාමය එතුමාගේ ඉදිරි ගමනට මහත්වූ ආශීර්වාදයක් බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක,පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යය වෙඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

මල්වතු අස්ගිරි උභය මහා විහාර මඟින් ගෞරව නාමයක් පිරිනමනු ලබන්නේ මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරු විසි නමකගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් පසු බවත් මේ නිසා නුසුදුසු අයකුට කිසිදු අවස්ථාවක ගෞරව නාමයක් හිමි නොවන බවත් උන්වහන්සේ කීය.

මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින් සජිත් ප්‍රේමදාස මහතාට ‘ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය’ පිරිනැමීම නිමිත්තෙන් පෙරේදා (31) මල්වතු මහා විහාරයීය මංගල උපෝසතාගාරයේදී පැවැති උත්සවයේදී අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් අනුශාසනාවක් පවත්වමින් උපාලි නාහිමියෝ මේ බව පැවසූහ.

ගෞරව නාම හා පදවි ඇත්තේ අහංකාරත්වයට පත්වීමට නොව, තම සේවාව තව තවත් වඩා හොඳින් කැපවීමෙන් ඉටු කරන්නට බවත් බුදුන් වහන්සේ සෑම විටම තනතුරු ලබා දුන්නේ සුදුසුකම් සොයා බලා බවත් කී අනුනාහිමියෝ ඇතැම් විට එක් ආත්මයක් නොව ආත්ම ගණනාවක් ආපස්සට සොයා බලා උන්වහන්සේ පදවි ලබාදුන් අවස්ථා තිබෙන බවත් අවාධරණය කළහ.

සුදුස්සාට සුදුසු තැන ලද විට කිසිදු කසු කුසුවක් ඒ ගැන ඇති නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා ඇත්තෙන්ම මෙවැනි ගෞරව නාමයක් ලබන්නට සුදුස්සෙකු බවත් උපාලි හිමියෝ කීහ. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයා රටට, ජාතියට හා ආගමට විශාල සේවාවක් කළ බවත් එතුමාගේ අඩිපාරේ යමින් සජිත් ප්‍රේමදාස මහතා විශාල සේවාවක් සිදු කරමින් සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

නිවාස සංවර්ධන හා සංස්කෘතික ඇමැති ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබෙන බවත් මින් ප්‍රමුඛතාව අද නිවාස සංවර්ධන අමාත්‍යාංශයට ලැබී තිබුණද ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ සංස්කෘතික අමාත්‍යාංශයට බවද අනුනාහිමියෝ එහිදී සිහිපත් කළහ.

සංස්කෘතිය, බලය යනු ඉතා බලවත් එකක් බවත් එය අතීතයේ පිටන් දැකගත හැකි බවත් කී උන්වහන්සේ යහපාලනය, මතින් තොර රටක්, ධාර්මික සමාජයක් වැනි වදන් සියල්ල ආමන්ත්‍රණය කරන්නේ අපේ ලේ ඇට මිදුලුවලට කාවැදී තිබෙන සංස්කෘතියට බවද අවධාරණය කළහ. අතීතයේ පටන් රජයන් බලයට පැමිණ ඇත්තේ මේ සංස්කෘතික බලවේග පදනම් කරගෙන බවත් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයා මෙම යථාර්ථය හොඳින් තේරම් ගත් ජන නායකයකු බවත් උපාලි හිමියෝ කියා සිටියහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇතැම් ක්‍රියා නිසා විහාරාධිපති හිමිවරු දැඩි අසීරුතාවට පත්වන බවත් පුරාවිද්‍යා උපදේශක සභාවලට උභය මහා විහාරයීය භික්ෂුන් වහන්සේලා පත් කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් උන්වහන්සේ කීහ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ වැඩ බලන ලේඛකාධිකාරී, පොළොන්නරුව සෝමාවතී රජමහ විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන් මෙම ගෞරව නාමය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීම පිළිබඳව සමස්ත ජනතාවම සතුටට පත්වන බවත් එතුමා මුල සිටම මෙම ගෞරව නාමය ලබන්නට සුදුසුකම් සපුරා තිබූ බවත් පැවසූහ.

මෙරට ජනතාවගේ යහපත පිණිසත් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිණිසත් එතුමා පසුගිය කාලය කටයුතු කළ බවත් සුමංගල හිමියෝ කීහ.

කතරගම කිරිවෙහෙර විහාරාධිපති, කොළඹ මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කොබවක ධම්මානන්ද හිමි අනුශාසනාවක් කරමින් මල්වතු අස්ගිරි උභය මහා විහාර මඟින් මෙම ගෞරව නාම ලබා දෙන්නේ පුද්ගලයකුගේ පක්ෂය සලකා නොව, ඔහු රටට, ජාතියට හා ආගමට සිදුකරන සේවාව සැලකිල්ලට ගෙන යැයිද පැවසූහ. මෙහිදී කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ද අනුශාසනායක් කළහ.

 

ගෞරව නාම නොලැබුණත් බුදු සසුන දිවි හිමියෙන් රකිනවා

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා

මෙවැනි ගෞරව නාමයක් මල්වතු මහා විහාරය මුල්ව පිරි නැමීම සම්බන්ධව සතුටට පත්වන බවත් කුඩා කල පටන් ආගමික පසුබිමක හැදුණු වැඩුණු තමන් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි විශාල ගෞරවයක්, භක්තියක් පවතින බවත් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කීය.

සජිත් ප්‍රේමදාස මහතාට ‘ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය’ පිරිනැමීම නිමිත්තෙන් පෙරේදා (31) මල්වතු මහා විහාරයීය මංගල උපෝසතාගාරයේදී පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තම ජීවිතය හැඩ ගස්වා ගැනීමේදී බුදු දහමින් ලද ආභාෂය ඉතා ප්‍රයෝජනවත් වූ බවත් ධම්ම පද ගාථාවක සඳහන් පරිදි නැඟී සිටි වීර්යය, සිහියක් ඇතිව කටයුතු කිරීම, නිදොස් දේ කරන, සියල්ල නුවණින් විමසා බලා කටයුතු කරන, සංවර වූ තිදොර ඇති, දැහැමි දිවි පැවතුම් ඇති, අප්‍රමාදී පුද්ගලයාගේ කීර්තිය විශේෂයෙන්ම වැඩේ යන්න තමන් සෑම විටම සිත්හි තබාගෙන කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

හැම විටකම ලොව්තුරා බුදුන් වහන්සේගේ දේශනය අනුව උතුම් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට උත්සහ දරමින් මේ රටේ පුරවැසියකු හැටියට පරිණත ගමනක් යන්නට තමන් සෑම විටම උත්සහ දරන්නේ යැයිද ඒ මහතා කීය. ජීවිතය ධර්මානුකූලව හැඩගස්වා ගැනීමට තම පියාණන්ගෙන් ලද ආභාෂය මෙම වැදගත් අවස්ථාවේ සිහිපත් කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සුචරිත ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසු රට පුරා අමධ්‍යප ව්‍යාපාරය ස්ථාපිත කරන්නට එතුමා කළ සටන අනුගමනය කරමින් අද තමන්ද මත්පැන්, දුම්වැටි ජීවිතයෙන් බැහැර කර තිබෙන බවද ප්‍රේමදාස මහතා පැවසීය. දේශපාලන හා සමාජ සේවා ගමනේදී බහුජන හිතාය, බහුජන සුඛාය යන්න මූලික කරගනිමින් කටයුතු කරන්නට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ප්‍රතිපත්ති සෑම විටම අනුගමනය කරන්නට තමන් සෑම විටම උත්සහ ගන්නා බවද ඒ මහතා කීය.

ජන සුවය, සසුනට අරුණ වැනි වැඩසටහන් බලයක් නොමැතිව ක්‍රියාත්මක කළ අවස්ථාව තමන් නිතර සිහිපත් කරන බවත් බුදු සසුනට මෙහෙවර කිරීම ඉතාම උතුම් අදිටනින් තමන් ක්‍රියාත්මක කරන බවත් කී ඒ මහතා, ඒ තුළින් තමන් නිරාමිස සතුටක් ලබන බවද ප්‍රකාශ කළේය.

වර්තමාන ලෝකයේ බොහෝ ගැටලුවලට විසඳුම් බුදු දහමේ තිබෙන බව සියලු ලෝක සත්ත්වයා පිළිගන්නා බවද කී සජිත් ප්‍රේමදාස මහතා, සාමය, සංහිඳියාව, සහෝදරත්වය, සංවරශීලීත්වය හා මනුෂ්‍යකමට මුල්තැන දෙමින් ධාර්මික රාජ්‍යය සංකල්පයන් ඔස්සේ ගැටලු විසඳීම වැනි උතුම් ක්‍රියාදාමයන්, ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් ලෝක සත්ත්වයා මුහුණ දෙන බොහෝ ගැටලුවලට, ප්‍රශ්නවලට ඉතාම ගුණාත්මක, හරාත්මක, ධනාත්මක විසඳුම් ලබා දෙන්නට හැකියාව තිබෙන බවද ප්‍රකාශ කළේය.

ශක්තිමත් පුරවැසියන් වගේම අසරණභාවයට පත් වූ නිහඬ බහුතරයක් රටේ ජීවත් වන බවත් විරැකියාවෙන් පෙළෙන උපාධිධාරී උගත් බුද්ධිමත් තරුණ පරපුර තවමත් විරැකියා පොළිමේ සිටින බවත් දුකින් පෙළෙන ජනතාව තවමත් බොහෝ අවස්ථාවන්වලදී අසරණභාවයට පත්ව තිබෙන බවත් හෙතෙම කීවේය.

ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ජන සමාජය තුළ සමසේ බෙදී නොයෑම නිසා පවතින ක්‍රමවේදය තුළ දිනන අය මෙන්ම පරාජයට පත්වන විශාල පිරිසක් සිටින බවද හෙතෙම කීය. සම්බුද්ධ ශාසනය දෙස බැලීමේදී එය සුරක්ෂා කිරීමේ, රැක ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වගකීම රජයක් සතුව පමණක් නොව, මේ රටේ පුරවැසි අප සියලු දෙනා සතු වැදගත් වගකීමක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඌන සම්පත්වලින් පීඩා විඳින විහාරස්ථාන සොයාගෙන ගොස් ඒවාට පිළිසරණක් වීම අපේ වගකීමක් බවද කී අමාත්‍යවරයා, ආර්ථික කාරණා නිසා වයඹ පළාතේ විහාරස්ථාන රැසක් වැසී තිබෙන බවත් අපේ රටේ සෑම විහාරස්ථානයකටම ස්වාධීන වූ ආර්ථික ශක්තියක් ලබාදීම රාජ්‍ය පාර්ශ්වයේ මෙන්ම සැමගේ වගකීම බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ට ලබාදුන් මෙම ගෞරවය සම්බුද්ධ ශාසනය සදාකාලිකව සුරක්ෂා කිරීම පිණිස තමන් කරන්නා වූ සේවාවට අතිමහත් වූ ශක්තියක් බවත් මෙම නාමය උපයෝගී කරගෙන කරන්නා වූ ආගමික සේවාව වැඩි වැඩියෙන් ශක්තිමත් කරන බවත් හෙතෙම පැවසුවේය.

ජනපති හා අගමැති තමන් කරන්නාවූ ජනතා සේවාවට ලබා දෙන්නා වූ අසීමිත ශක්තිය හා ධෛර්ය අගය කරන බවද ඒ මහතා කීය.

මෙම අවස්ථාවට හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු සජිත් ප්‍රේමදාස මහතාගේ පවුලේ උදවියත් මැති ඇමැතිවරු විශාල පිරිසකුත් සහභාගි වූහ.

[අසේල කුරුළුවංශ]

මාතෘකා