යොවුන්පුරයේදී හඳුනා ගත් සියලු තරුණ ගැටලු විසඳනවා : අගමැති රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

යොවුන්පුරයේදී හඳුනා ගත් සියලු තරුණ ගැටලු විසඳනවා : අගමැති රනිල් වික්‍රමසිංහ

අවලාද හා අපහාස මධ්‍යයේ විවිධ අභියෝගවලට මුහුණදෙමින් දුෂ්කර මාවතක් ඔස්සේ ආණ්ඩුව සියලු කැප කිරීම් කර ඉදිරියට පැමිණියේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්‍ෂිත කරදීමට බවත් මින් මතු වෙනත් රටකට අපව පසුකොට ඉදිරියට යෑමට ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හම්බන්තොට, වීරවිල පැවැති ජාතික යොවුන්පුරය සමාප්ති උලෙළ අමතා පෙරේදා (30) අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මේ යොවුන්පුරයට තරුණ අදහස්, තරුණ බලාපොරොත්තු, තරුණ සිහින, තරුණ ගැටලු ආදී සියල්ලම ගොනුවී තිබෙනවා. මෙහිදී අපි ඒවා පිළිබඳ සාකච්ඡා කරනවා. එය තරුණ ඔබගේ අනාගතයට ඉතා වැදගත්. අද දිනයේ මෙම යොවුන්පුරය ඔබේ අනාගතය නිර්මාණය කරන හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අපි තීරණය කළේ ඒ නිසයි.

“අපේ දෙමව්පියන් තරුණ අවධියේදී, මේ රටට නිදහස ලැබෙන කාලයේ සංවර්ධනය අතින් අපි ආසියාව තුළ ජපානය සමඟ කරට කර සිටියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති වන විට අපට ඉදිරියෙන් කොරියාව, සිංගප්පූරුව සහ මැලේසියාව සිටියා. අපි සංවර්ධනය වෙනුවෙන් වූ තරගය තුළ තරමක් පසුබෑමකට ලක්ව සිටියා. එම නිසා අපේ ආර්ථිකය විවෘත කිරීමට එදා අපි තීරණය කළා. නමුත් රට තුළ යුද්ධයක් ඇති වුණා. 2001 වසරේ අපි රට බාර ගන්නා විට බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල් සිටියේ ශ්‍රී ලංකාවට පිටුපසින්.

නමුත් අවාසනාවකට මෙවර අපි බලයට පත්වන විට මීට එම රටවල් ශ්‍රී ලංකාව අභිබවා ගොස් සංවර්ධනය කරා පැමිණ තිබෙනවා. අද ඔවුන්ගේ ධනය වැඩිවී තිබෙනවා. එම රටවල්වල ජනතාවට අපේ රටේ ජනතාවට වඩා සුරක්‍ෂිතභාවයක් ඇතිවී තිබෙනවා. එම නිසා 2015දී අප බලය ගන්නා විට සංවර්ධනය වීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවසානම අවස්ථාව මෙය බව අප තීරණය කළා. මෙම අවස්ථාවේ රට ගොඩගන්නේ නැත්නම් රට තවත් අගාධයට වැටෙන බව අප එදා තේරුම් ගත්තා. එම නිසා රටේ ආර්ථිකය තුළ විශාල පරිවර්තනයක් සිදු කළා.

විශාල දියුණුවක් අද හම්බන්තොට වරාය අත්කර ගෙන තිබෙනවා. ඉදිරියේදී හම්බන්තොට වරාය කලාපීය වෙළෙඳ මධ්‍යස්ථානයක් කරනවා. ඒ වගේම ලාෆ් ගෑස් සමාගමේ එල්.පී.ජී. ගෑස් ගබඩාව නිරීක්‍ෂණය සඳහාත් මම ගියා. එය ඉන්දියානු කලාපය තුළ තිබෙන විශාලතම සහ නවීනතම එල්.පී.ජී. ගෑස් ගබඩාවයි. මෙවැනි නවීන එල්.පී.ජී. ගෑස් ගබඩාවක් ඉන්දියාවේ පවා නොමැති බව පැවසිය යුතුයි. ඒ වගේම එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඉදි කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා, ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරී ඒකාබද්ධව පාලනය කිරීමට අවශ්‍ය කටයුතු අප සකස් කර තිබෙනවා. අක්කර 5,000කින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම වෙළෙඳ කලාපය අපි හම්බන්තොට ආරම්භ කරනවා. ඉන් පසුව මොනරාගලත් වෙළෙඳ කලාපයක් ආරම්භ කරනවා. අද රට තුළ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා.

චෝදනාවන්ට ලක්වෙමින්, විවේචන බාර ගනිමින්, මඩ ගැසීම්, පරාජය ආදියට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. ඔබට අනාගතයක් නිර්මාණය කිරීමට නම් බය නැතිව ජනතාවට නිවැරදි දේ පවසමින් නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතුව තිබුණා. අප දියුණු වන්නේ ඒ ආකාරයට පමණක් බව අප එදා අවබෝධ කර ගත්තා. එක් මොහොතක හෝ අප ගෙනආ වැඩසටහන් නතර කළා නම් අද මෙම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපට අවශ්‍ය ඔබේ අනාගතය ආරක්‍ෂා කරමින් ඉදිරියට යෑමටයි.

තරුණ ඔබට ඉඩම් අයිතිය ලබා දිය යුතුයි යන අලුත් අදහසක් අද සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළා. එය අනුමත කරමින් ඉදිරියට ක්‍රියාත්මක කරන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

මාතෘකා