අප උත්සාහ කරන්නේ ණය ගෙවා දමා කෙසේ හෝ රට ඉදිරියට ෙගන යාමටයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

අප උත්සාහ කරන්නේ ණය ගෙවා දමා කෙසේ හෝ රට ඉදිරියට ෙගන යාමටයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

“ඩොලරය ඉහළ යාමේ ගැටලුව ශ්‍රී ලංකාවට විශාල ලෙස බලපා තිබෙන්නේ අපට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන නිසයි. මේ වසරේ ඩොලර් මිලියන 3000ක පමණ ණය ගෙවීමට තිබෙනවා. එතරම් විශාල ණයක් ගෙවීමට අපට නොතිබුණා නම් මේ අර්බුදයට මුහුණපෑමට අපට සිදුවන්නේ නැහැ.

එන වසරේදී තවත් ඩොලර් මිලියන 4000ක් ගෙවීමට සිදුවෙනවා. අප භාරගෙන තිබෙන්නේ පරණ පව් බව ඔබට තේරෙනවා ඇති. අප උත්සාහ කරන්නේ මේ තත්ත්වයට මුහුණ දී කෙසේ හෝ ඉදිරියට යාමටයි” යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (26) කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීෙම් අවස්ථාවට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

''රටේ නමක් දරා සිටින පාසලක් නිසා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ගැන අමුතුවෙන් පැවසිය යුතු නැහැ. මෙම පාසැලෙන් වසරකට විශාල පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවා. මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල මුදලක් වෙන්කර තිබෙනවා. නවීන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ වගකීම අපි අකිල විරාජ් ඇමතිතුමාට බාරදී තිබෙනවා.

නමුත් ඊට පෙර අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. ගොඩනැගිලි, පාසල් උපකරණ, ආදිය ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ගුරුවරුන් බඳවාගැනීමේ කටයුතු සිදුකරමින් සිටිනවා. අඩුපාඩුකම් තිබෙනවා නම් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කළ නොහැකියි.

''ඉංග්‍රීසි, පරිගණක අධ්‍යාපනය මේ සියලුම විෂයයන් වෙනුවෙන් අප ගුරුවරුන් බඳවා ගන්නවා. වර්තමාන ලෝකයේ අධ්‍යාපනය යනු ගෝලීය තරගයක් බව පැවසිය යුතුයි. ගෝලීයකරණයේ ප්‍රධානම කරුණක් ලෙස අධ්‍යාපනය සැලකෙනවා. එම නිසා රටේ කෙතරම් ගැටලු තිබුණත් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කරන මුදල් වැඩිකරමින් එය දියුණු කිරීමට අවශ්‍ය සියලු වැඩකටයුතු සිදුකරන බව පැවසිය යුතුයි.

''අප ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව ගතවූ පළමු වසර කිහිපය අධ්‍යාපන ක්ෂේත්‍රය වේගයෙන් වර්ධනය වූ කාලයක් ලෙස හැඳින්විය නොහැකියි. ඊට හේතුව නම් පුහුණු ගුරුවරුන් බඳවා ගැනීමට අපට සිදුවීමයි. නමුත් දැන් ගුරුවරුන් බඳවා ගැනීම් බොෙහාමයක් අවසන් කර තිබෙන නිසා ඉදිරි කාලය තුළ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වේගයෙන් ඉදිරියට ගෙන යන බව මේ මොහොතේ පැවසිය හැකියි. රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යතුමා විසින් භාරගෙන තිබෙන නිසා මා ඒ පිළිබඳව ගැඹුරින් පවසන්නේ නෑ.

''අධ්‍යාපනය, දැනුම නොමැතිව මේ ශත වර්ෂය තුළ ජීවත් වීම ඉතා අපහසු කාර්යයක්. කුමන අර්බුද තිබුණත් ඉදිරි වසරේත් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කරන මුදලේ අඩුවක් සිදු නොකරන ලෙස මුදල් ඇමතිතුමාටත්, අධ්‍යාපන ඇමතිතුමාටත් මම උපදෙස් ලබා දුන්නා. උද්ගත වී ඇති ගෝලීය ආර්ථික අර්බුදය අප විසින් ඇති කරන ලද්දක් නොවූවත් එහි බලපෑම අපටත් එල්ල වී තිබෙනවා. විශාල වශයෙන් ජාත්‍යන්තර ණය ගැනීම හරහා අපි අද මේ තත්ත්වයට මුහුණ පා සිටිනවා. ඇතැම් භාණ්ඩවල බදු වැඩි කරමින් ණය පියවීම කළමනාකරණය කර ගැනීමට අපේ ආණ්ඩුවට හැකි වුණා.

''මේ රට කන්න හතරක නියඟයකට මුහුණ පා සිටියා. අස්වැන්න අඩුවන විට ජනතාව අතේ මුදල් හිඟ වෙනවා. ඒවගේම ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමටත් ශ්‍රී ලංකාව දැන් සිදුව තිබෙනවා. අප ගනුදෙනු කරන්නේ ලෝකයේ ප්‍රධානතම මූල්‍ය ඒකකය වන ඩොලරය සමඟයි. 2008 වසරේ සිට ඩොලරයේ වටිනාකම ක්‍රමානුකූලව පහත බැස්සා. එවිට අනෙක් රටවල මූල්‍ය ඒකකවල වටිනාකම ඉහළ ගියා. එම අවස්ථාවේදී ඇමෙරිකානු ආයෝජකයන් සිය මුදල් වෙනත් රටවල ආයෝජනය කළා. නැවතත් ඇමෙරිකානු ආර්ථිකය දියුණු වන විට ඩොලරයත් දියුණු වීමට පටන්ගෙන තිබෙනවා.

''ආයෝජකයන්ගේ අරමුණ වන්නේ වැඩි ලාභයක් ලබාගැනීමයි. එය ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනිසියාව හෝ ඇමෙරිකාව විය හැකියි. මේ වන විට ආයෝජකයන්ට වැඩිම ලාභයක් ලබාගැනීමට හැකි වන්නේ ඇමෙරිකානු ඩොලරය හරහායි. එම නිසා බොහෝ ආයෝජකයන්ගේ මුදල් නැවතත් ඇමෙරිකාවට ගෙන යනවා. එවිට ඩොලරයේ අගය ශක්තිමත් වෙනවා. අනෙක් රටවල් මේ නිසා විශාල ගැටලුවකට මුහුණ පා සිටිනවා.

''ඉන්දියාව, මෙක්සිකෝව, බ්‍රසිලය, ආජන්ටිනාව, ඉන්දුනිසියාව, පකිස්ථානය, මැලේසියාව සහ යුරෝපායේ ඕනෑම රටකට එම තත්වය බලපානවා. අප ආණ්ඩුවක් ලෙස වැඩසටහන් සකස් කරන්නේ එම තත්වයට මුහුණ දී ඉදිරියට යාම සඳහායි.

''වර්තමානයේ උද්ගතව තිබෙන මෙම තත්ත්වය රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් බලපාන බව මා දන්නවා. ඇතැම් රටවල්වලට මේ අර්බුදය එතරම් දැඩිව බලපාන්නේ නැහැ. තායිලන්තය, වියට්නාමය එම රටවල් අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඊට හේතුව එම රටවල් සම්පූර්ණයෙන්ම අපනයන අර්ථිකයක් මත පදනම්ව සිටීමයි. අපත් එවැනි අපනයන ආර්ථිකයක් ගොඩනගා ගත යුතුයි. අප මේ වන විට ණය ගෙවීමට අවශ්‍ය ශක්තිය ඇති කරගෙන තිබෙනවා. ඩොලරයේ වටිනාකම ඉහළ යාමෙන් ඇති වන අභියෝගයට මුහුණදීමට නම් අප සම්පූර්ණ අපනයන ආර්ථිකයක් ගොඩනගා ගත යුතු වෙනවා.

''නැවතත් අප එවැනි අපනයන ආර්ථිකයක් ඇති කර ගත යුතුයි. ඒ සඳහා වසර දෙක තුනක් අවශ්‍ය වෙනවා. ආයෝජකයන් ගෙන ඒම,කර්මාන්ත කලාප ඇති කිරීම වෙනුවෙන් කාලයක් ගතවෙනවා. සීතාවක කර්මාන්ත කලාපයෙන් පසුව රටේ තවත් එවැනි කර්මාන්ත කලාපයක් ආරම්භ වී නැහැ. එය ආරම්භ කලේ සී. වී. ගුණරත්න ඇමතිතුමායි. ඒ ආකාරයේ ආර්ථික කලාප ඇති කිරීමේ නව වැඩසටහනක් අප දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩසටහනට කුරුණෑගලත් ඇතුළත් කර ඇති බව කිව යුතුයි.

''කුරුණෑගල, දකුණු පළාත සහ මහනුවර ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩගැනීමේ ප්‍රධාන කලාපයන් ලෙස අප හඳුනාගෙන තිබෙනවා. එහි එක් වැඩසටහනක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගය හැදින්විය හැකියි. කොළඹ සිට නුවර දක්වා මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිවෙනවා. වයඹ කලාපය තුළ ආයෝජන කලාප ඉදිවන විට එම අධිවේගී මාර්ගය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා.

''බිංගිරිය ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඇති කිරීම සඳහා අක්කර 800ක භූමි ප්‍රමාණයක් වෙන් කර ගෙන තිබෙනවා. මාවතගම ප්‍රදේශයේ දෙවන ආර්ථික කලාපය ඇති කිරීමට කටයුතු කරනවා. බියගම එක ආයෝජන කලාපයක් අප ඇති කළ අතර වර්තමානයේ එම ආසනයේ බාගයකට වැඩි ප්‍රමාණයක පිහිටා තිබෙන්නේ විවිධ කර්මාන්ත ශාලා බව පැවසිය යුතුයි. කර්මාන්ත නොමැති ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් කර්මාන්ත ශාලාවල කන්ටේනර් රථ ගාල් කිරීමට ඉඩ පහසුකම් සලසා දී ඒ හරහා මුදල් සොයනවා. එයත් ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

''ඉරණවිල සංචාරක කලාපයක් බවට පත්කිරීමට අපි කටයුතු කරනවා. කොළඹ, ගම්පහ ඇතිව තිබෙන දියුණුව, ඉන් පසුව කුරුණෑගල,මහනුවර ආදී නගරවලට ගෙන ඒමට හැකියාව ලැබෙනවා. කළුතර වෙළෙඳ කලාපයක් ඇති කිරීමටත්, හම්බන්තොට අක්කර දස දහසක වෙළඳ කලාපයක් ඇති කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. අප විදේශ විනිමය ලබා ගන්නේ මෙම සැලසුම් හරහායි.

''මෙවැනි සැලසුම් සහගත වැඩසටහනක ප්‍රධාන නගරයක් ලෙස කුරුණෑගල හඳුනාගෙන තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හරහා කුරුණෑගලට විශාල දියුණුවක් ඇති වෙනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ එම වගකීම බාරගෙන තිබෙනවා. එම වැඩකටයුතු අවසන් කරන විට මේ ප්‍රදේශයේ ඉඩම් ජනතාවට ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි. වාරියපොල සහ කුරුණෑගල නව පාසල් දෙකක් ආරම්භ කිරීමට අප කටයුතු කරන්නේ එම නිසයි.

''වර්තමානයේ ඇති වී තිබෙන ගෝලීය අර්බුදයත්, අධ්‍යාපනය හරහා ඊට විසඳුම් ලබාගන්නා ආකාරයත් පිළිබඳව ඔබට අද යමක් පැවසීමට මා කල්පනා කළ නිසා මෙම කරුණු පැවසූවා. අපේ රජයේ සංවර්ධන වැඩකටයුතු හරහා ඉදිරියේදී කුරුණෑගල නගරයට විශාල වාසියක් ලැබෙන බව මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා.''

මාතෘකා