ලක්ෂ හයේ පුටු ගෙන්වීමට පක්ෂ විපක්ෂ සියලු මහජනතාව විරුද්ධ වුනා : පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි

 ඡායාරූපය:

ලක්ෂ හයේ පුටු ගෙන්වීමට පක්ෂ විපක්ෂ සියලු මහජනතාව විරුද්ධ වුනා : පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි

බස්නාහිර පළාත් සභාව සඳහා ලක්ෂ 6ක මුදලකට පුටු ගෙන්වීමට සූදානම් වීම මගින් පළාත් සභා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යෑමට නොහැකි වීමේ හීනමානය පෙන්වන බවත්, ඒ වෙනුවෙන් පළාත් සභාව පාර්ලිමේන්තු මට්ටමට ඔසවා තැබීමට උත්සාහ දැරීමෙන් ජනතා මුදල් නාස්ති වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ලක‍ෂ්මන් නිපුණආරච්චි මහතා පසුගියදා (17) පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පැවසීය.

තව දුරටත් අදහස් දැක් වූ නිපුණආරච්චි මහතා මෙසේද පැවසීය.

“බස්නාහිර පළාත් සභාවේ පුටු සිද්ධියට අදාළව ආණ්ඩුකාරවරයා වාර්තාවක් ලබාදීලා තිබෙනවා. ඒ අනුව පුටු ගෙන්වීම නතර කොට තිබෙනවා. මේ සඳහා මැදිහත්වූ ආණ්ඩුකාරවරයාටත්, මාධ්‍යවලටත්, ෆේස්බුක් සමාජ ජාල ක්‍රියාකාරීන්ටත්, පක්ෂ විපක‍ෂ භේදයකින් තොරව ඊට එරෙහිව කටයුතු කරපු මහජනතාවටත් අපගේ ස්තුතිය පිරිනමනවා. මේ මගින් සිදුවීමට ගිය විශාල මූල්‍ය අලාභයක් වැළැක්වීමට හැකි වීම පිළිබඳව අපිට නිරාමිස සතුටක් තිබෙනවා. පළාත් සභා සුදු අලියෙක් බව මේ සිදුවීමෙනුත් ඔප්පු කළා. පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවට යන්න බැරිවීමේ හීනමානය වෙනුවෙන් පළාත් සභාව පාර්ලිමේන්තුව මට්ටමට ඔසවා තැබීමට සිදුකරන ජනතා මුදල් නාස්තිය පැහැදිළිව රටට පෙන්නුවා. පළාත් සභා අලියා තව තවත් සුදු කිරීමට මුදල් නාස්ති කරන බව රටට හෙළිදරව් වුණා. ඒ විතරක් නෙවෙයි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමතිවරයා දිව දෙකේ කතා කාරයෙක් බව ඔප්පු වුණා. ඔහු මුලින් කිව්වේ කවුරු විරුද්ධ වුණත් පුටු ගෙන්වන එක නතර කරන්නේ නැහැ කියලා. ආණ්ඩුකාරවරයා නැවැත්වූ පසු ප්‍රධාන ඇමතිවරයා දැන් කියනවා තමන් එය දැනගත්තේ මාධ්‍යවලින් බවත් දැනගත් මොහොතේම පළාත් ලේකම්ට කතා කරලා පුටු ගෙන්වීම නතර කළ බවක්.

"මේ සිදුවීමේදී අපේ රටේ ජනතාව පෙන්නුවා දේශපාලන පක‍ෂ භේදයකින් තොරව ජනතා මුදල් නාස්තියට තමන් විරුද්ධ බව. නමුත් ජනතා නියෝජිතයින් ලෙස පෙනී ඉන්න එජාපයේ, ශ්‍රීලනිපයේ, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පෙනී සිටියේ පුටු ගෙන්වීම සාධාරණීකරණය කිරීමටයි. මෙම සිදුවීම රටට හෙළිදරව් කිරීම පිළිබඳව ඔවුන් සියලු දෙනා චෝදනා කළේ ජවිපෙ මන්ත්‍රීවරුන්ටයි. අපි මෙම සිදුවීම් පිළිබඳව ආණ්ඩුකාරවරයාට ලිඛිතව දැනුම් දුන්නා. පසුව රටේ ජනතාව දැනගත යුතු නිසා මාධ්‍යයටත් කිව්වා. අනෙක් පක්ෂවල මන්ත්‍රීවරු අපට චෝදනා කළේ පළාත් සභා මන්ත්‍රීවරයා හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කරනවා කියලයි. ජවිපෙ මන්ත්‍රීවරු හය දෙනා හැර තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පමණයි මෙම සිදුවීමට එරෙහිව කටයුතු කළේ. එම මන්ත්‍රීවරු දෙදෙනා මහ ඇමතිවරයා සමඟ තිබුණු පෞද්ගලික කෝන්තරයක් නිසා විරුද්ධ වුණා කියලයි අපි හිතන්නේ”

මාතෘකා