මේ දූපත ලෝකේ ලොකුම රාජ්‍යය කියලා හිතන අයත් ඉන්නවා : ඇමති රාජිත

 ඡායාරූපය:

මේ දූපත ලෝකේ ලොකුම රාජ්‍යය කියලා හිතන අයත් ඉන්නවා : ඇමති රාජිත

සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් ගතවූ වසර දෙකක කාලසීමාවේ ජනතාව වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළත්, රජය කිසිවක් සිදුනොකළ බව පවසමින් සමාජ මාධ්‍යවලින් එක දිගට රජයට පහර එල්ල කළේ තමන් කළ වැඩ ගැන රජය නිසි ප්‍රචාරණයක් සිදුනොකළ නිසා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එම නිසා රජයේ පාර්ශ්වයෙන් සිදුව ඇති මෙම අඩුපාඩුව නිසි ලෙස හඳුනාගනිමින් රජය සිදුකළ සේවාවන් ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා රජයේ මාධ්‍යවල සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පවසයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලංකාවේ සීමාසහිත එක්සත් ‍ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තුවේ නිර්මාණයෙන්, දිනමිණ පුවත්පත සමඟ නොමිලේ ලබා දෙන 'සුව අරණ' පුවත් අතිරේකයේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් ‍ලේක්හවුස් ආයතනයේ ඊයේ (12) පැවැති උත්සවයේදී ය.

'සුව අරණ' පුවත් අතිරේකයේ පළමුවෙනි සංවත්සරය සැමරීම වෙනුවෙනුයි අද අපි මේ අවස්ථාවට සහභාගී වී සිටින්නේ. මීට පෙර මම ධීවර ඇමැතිවරයා ලෙස මම 'ඔරුවැල්ල' පුවත්පත මේ ආකාරයට ම ලේක්හවුස් ආයතනයේදී ආරම්භ කළා. ඒ වගේම මම ඒ කාලේ ධීවර රේඩියෝ වැඩසටහනකුත් ආරම්භ කළා. එය ශ්‍රී ලංකා ගුවන්විිදුලි සංස්ථාවෙන් ප්‍රචාරය කළා. එය ධීවර ජනතාව අතර ඉතාමත් ම ජනප්‍රිය වුණා.

යාත්‍රාවක සිටයදී තමයි ධීවර ජනතාව එය සමඟ සම්බන්ධ වී තමන්ගේ ප්‍රශ්න කතා කළේ. ඈත දියඹේ සිට සහ මැදපෙරදිග ඇතුළු ඒ සියලුදෙනා උදේ හත වනතුරු එයත් සමඟ සම්බන්ධ වුණා. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය මම භාර ගත් පසුව ලේක්හවුස් ආයතනය සමග අපි 'සුව අරණ' පුවත්පත ආරම්භ කළා. එදා ඔරුවැල්ල පුවත්පත සංස්කරණය කළේත් බුද්ධිකා මහත්මියයි. ‍

ඒ නිසා අපිට පරණ අත්දැකීම් අනුව සුව අරණ පුවත්පතේ කටයුතු කරන්න පහසුවක් වුණා. මෙවර පිටු 12ක් සහිතව ඉතා වර්ණවත් ලෙස ‍මෙය ඉදිරිපත් කර තිබෙනවා. අපි ඉදිරිපත් කළේ අපි කරන වැඩ කොටස කවදාවත් පිටු 12 කින් නම් කියන්න බෑ. පිටු 12ත් මදි ඇත්තටම. තව පිටු වැඩිකළොත් මට තවත් වැඩිපුර වැඩ කරන්න පුළුවන්.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පමණක් නෙවෙයි අපේ රජයෙන් විශාල වැඩකොටසක් කළා. මැතිවරණ ප්‍රකාශනයට දුන් පොරොන්දු ඒ දෙස බලමින් එකින් එක ඉටු කළ කිසිම ආණ්ඩුවක මම මීට පෙර වැඩකර තිබුණේ නෑ. යූ.එන්.පී, ශ්‍රී ලංකා දෙපැත්තේ ම ආණ්ඩුවල මම වැඩ කර තිබෙනවා. ඒත් කිසි දවසක මැතිවරණ ප්‍රකාශනයක් ගෙනත් ඇමැති මණ්ඩලයේ කතා කළේ නෑ. මේ ආණ්ඩු දෙකේ ම ප්‍රධානීන් සමඟ මම කැබිනට් මණ්ඩලයේ කටයුතු කළා. ඒ කිසිම කැබිනට් මණ්ඩලයක මේ විදිහට මැතිවරණ පොරොන්දු එකින් එක ඉටු කිරීම ගැන කතා කළේ නෑ. මේවා සම්බන්ධයෙන් ආණ්ඩු දෙකේ ම ප්‍රචාරක කටයුතු කළේ මමයි.

මේ රජයේ තිබුණ එකම වෙනස තමයි ආණ්ඩුව පිහිටුවූ පසු මුලින්ම දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම. ඒ දින සියයයේ එකින් එක අරගෙන අපි ඒ සියල්ලම ක්‍රියාත්මක කළා. අයවැය ලේඛනය ගත්තොත් එහි තුන්කාලක් තිබුණේ මහජන සුබසාධන ක්‍රියාවලිය සහ දින සියයේ වැඩපිළිවෙළ. මහජන හිතවාදී අන්දමින් තමයි මේ රජය කටයුතු ආරම්භ කළේ.

අපි පොරොන්දු ඉටු කළාම එහි ප්‍රතිලාභ හැමෝටම හිමිවුණා. ජනගහනය මිලියන දෙකම රක්ෂණය කළා. තමන්ට යම් ආපදාවකට ලක්වුණොත් අනාගත රජයන් නොගෙව්වත් රක්ෂණයෙන් තමුන්නාන්සේලාට මුදල් ලැබෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශාල වැඩකොටසක් පසුගිය කාලයේ සිදුකළා. අපිට වුණ වැරැද්ද තමයි, අපි කිව්වා යහපාලනය කියන්නේ මේවා ප්‍රචාරය කරන්නේ නෑ කියලා.

මේවා හොඳයි අමෙරිකාවටයි, ප්‍රංශයටයි, ජර්මනියටයි. මේ ලංකාවනේ. එහෙම දියුණු තත්ත්වයේ තිබෙන රටක් නෙවෙයි. බුද්ධියෙන් දියුණු නෑ, මොකද මේ දූපත තමයි ලෝකයේ තිබෙන ලොකුම රාජ්‍යය කියලා හිතාගෙන ඉන්න අයනෙ මෙහෙ ඉන්නේ. ඒ නිසා කවදාවත් ලේසියෙන් දියුණු වෙන්න බෑ. මොකද මේකෙ තිබෙන ඔක්කෝම දියුණු වුණා කියලා හිතාගෙන ඉන්න අය තමයි මේකෙ ඉන්නේ.

එහෙම හිතන නායකයොත් මේ රටේ ඉන්නවනෙ. ඒ තරම් දේශප්‍රේමී කියලා කියන්නේ ලංකාව ලෝකයේ උඩින්ම ඔසවලා කයිවාරු ගැහුවාම එයා තමයි මේකෙ ඉන්න දේශප්‍රේමියා. යථාර්ථය කතා කරන කෙනා තමයි දේශද්‍රෝහියා. ඒක තමයි මේ රටේ තිබෙන සාමාන්‍ය ජන විඥානය. ඡන්දය තිබෙන්නේත් එතැතට. ඒ නිසා අපි මේ ප්‍රචාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි කළ වැඩකොටස පසුගිය රජය සමයේ කළා නම් හැම හන්දියකම කටවුට් ගහනවා. ඒ කටවුට්වල මැද 'මහින්ද චින්තනයේ තවත් ජයග්‍රහණයක්' කියලා. ඒකේ මහින්දගේ ලොකු මූණයි, මගේ පොඩි මූණයි තිබෙනවා. ඒක ගැහුවාම සමහර වෙලාවට මහින්දවත් දන්නේ නෑ. ඒත් මහින්ද චින්තනය කියන්නේ සොක්‍රටීස්වත්, ‍ප්ලේටෝවත්, ආකිමිඩිස්වත් කියලා තිබෙන දර්ශනයක් නෙවෙයි.

ඊට වඩා මහා විශාල දෙයක් විදිහටයි පෙන්නුවේ. ඒකෙ මේ රටේ කරපු ඔක්කොම දේවල් අඩංගුවෙලා තිබුණා කියලා තමයි ‍පෙන්නුවේ. එදා වුණේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. කවුරු කළත් මහින්දගේ නම තමයි යන්නේ. ඒ නිසා හැම දෙනාම මහින්ද කියන එකම දේවස්ථානයට තමයි එදා මල් වට්ටිය පූජා කළේ. ඒත් දැන් එහෙම නෙවෙයි. රාජිතගේ ජයග්‍රහණයක් විදිහට දැක්වෙනවා. අන්තිමේදී ඒක ආණ්ඩුවේ ජයග්‍රහණයක් බවට පත්වෙනවා. ඒ නිසා කටවුට් ගැහුවේ නෑ. පුවත්පත් දැන්විම් දැම්මේ නෑ. පත්‍රිකා බෙදුවේ නෑ.

ඉතින් මිනිස්සු අහනවා මොනවාද කළේ කියලා. ඒ නිසා තමයි දැන් මේ අපි කරපු ඒවා කියන්න පටන් අරගෙන තිබෙන්නේ. හැම අමාත්‍යාංශයක්ම ඒක කරනවා. දැන් තමයි යන්තම් බෙහෙත් අඩුයි කියලා දන්නේ. ඒක දන්නේ කලින් බෙහෙත් ගත් අයයි. අලුතෙන් බෙහෙත් ගන්න අය ඒක දන්නේ නෑ.

සමහර වෙලාවට ඒ අය හිතන්න පුළුවන් මහින්ද මහත්තයාගේ කාලේ මිල තමයි මේ තවමත් තිබෙන්නේ කියලා. ඒ නිසා අපි ඉගෙන ගත්ත පාඩම තමයි කරපු වැඩ ගැන ජනතාව දැනුවත් කළ යුතුයි කියන එක. නැතිනම් ආණ්ඩුව එකතැනක, ජනතාව තව තැනක. එහෙම නැතිව ඒ වැඩේට ඉදිරියට යන්න බෑ. ව්‍යාපෘතියක වටිනාකම වැඩිවෙන විට තමයි ඒක ඉදිරියට යන්නේ, අනුබද්ධ ව්‍යාපෘති එන්නේ.

ගිය ආණ්ඩුවේ ඡන්ද ගත්තෙත් පෙට්‍රල් 150 වෙනකම් අඩු කරලා. මේ වනවිට පෙට්‍රල් රුපියල් 149යි. ඒත් රුපියලක් අඩුයි. අවුරුදු 3ක් ගිහිල්ලත් පෙට්‍රල් මිල තාම එහෙමමයි. ලෝකයේ කොයි රටේ ද එහෙම පෙට්‍රල් මිලක් තිබෙන්නේ. අපේ කලාපයේ හැම රටකම අපිට වඩා පෙට්‍රල් මිල වැඩිවෙලා තිබෙනවා. ඒවා මාධ්‍යවල දාන්නේ නෑ.

ඉන්දියාවේ කීයකින් ද, පකිස්ථානයේ කීයකින් ද වැඩිවුනේ කියලා දාන්නේ නෑ. අපි තමයි අඩුවෙන් ම ඩොලර් එක වැඩිවෙලා තිබෙන රට පසුගිය කාලේ. ඩොලරයේ මිල වැඩිවීම කොයි ආණ්ඩුවකටවත් වළක්වන්න බෑ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඩොලරයේ වටිනාකම වැඩිකළා. අමෙරිකාව ඉදිරියට ගමන් කරන්න එයා වෙනමම න්‍යායක් ක්‍රියාත්මක කරනවා. අපේ කලාපයේ විතරක් නෙවෙයි ලෝකයේ හැම රටකම ඒක එහෙමයි. මේක ජනතාව දැනගත යුතුයි. ඒකට තිබෙන එකම දේ මාධ්‍ය පමණයි. එක්කෝ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය.

ඒත් අද රජයේ මාධ්‍ය පවා අපි කියන දේවල් හරියට දාන්නේ නෑ. පසුගිය සෞඛ්‍ය විවාදයේදී ජවිපෙ සිටින එකම එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිධාරී මන්ත්‍රීවරයාත්, රමේෂ් පතිරණ, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරුත් මම සෞඛ්‍ය සේවය වෙනුවෙන් කර තිබෙන වැඩ කොටස ඉතාමත් අගය කරමින් කථා කළා. වාසුදේව ප්‍රශංසා කිරීමම මදිද. මට මුදල් ලබා දෙන්නේ රජය. මම කරන්නේ මගේ යුතුකමයි.

[සිතාරා සේනානි]

ඡායාරූප[සමන් ශ්‍රී වෙදගේ සහ ගයාන් පුෂ්පික]

මාතෘකා