නව ගෝලීය ආර්ථිකයට සරිලන වෙළඳ ගැලපුම් ප්‍රතිපත්ති හඳුන්වාදීමට රජය සූදානම් : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

නව ගෝලීය ආර්ථිකයට සරිලන වෙළඳ ගැලපුම් ප්‍රතිපත්ති හඳුන්වාදීමට රජය සූදානම් : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වාණිජ අංශවල සංවර්ධනයට නිසි ආයෝජන ලැබුණේ නම් ඒවායේ ධාරිතාව පුළුල් කිරීමට සහ ඵලදායිතාව ඉහළ දැමීමට හැකියාව ලැබීම හරහා රටේ ආර්ථික වර්ධනය ඉහළ අගයක් බවට පත් කිරීමට තිබූ බවත් නව ගෝලීය ආර්ථිකයට සරිලන ආකාරයට අපගේ ආයතන සහ සමාගම් හැඩගැන්වීමේ අරමුණෙන් වෙළඳ ගැලපුම් ප්‍රතිපත්ති හඳුන්වාදීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (09) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ICCSL සහ CIMA ආයතනයන් මගින් තෝරාගත් සමාගම් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගි වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“ගෝලීය ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කිරීමේදී මේ කාලය එතරම් සුභදායි නැහැ. මේ තත්ත්වය ඉදිරියේදී තවත් වෙනස් අතට හැරෙන්නට පුළුවන්. කොහොම වුණත් අපි අපගේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණෙන් නැවතත් වාණිජමය වටිනාකම අතින් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි යොමුවීමේදී අපට අභියෝග රැසකට මුහුණදීමට සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට වෙළඳ අපනයන දක්වන දායකත්වය 2000 වසරේදී සියයට 23.13ක් පැවතුණත් එය 2017 වසර වන විට සියයට 13ක් දක්වා පහත වැටී තිබෙනවා. අමිහිරි වුවත් සත්‍ය තත්ත්වය එයයි. අපේ රටේ වෙළඳාම සඳහා පවතින විවෘතභාවය

සියයට 77.4 සිට සියයට 37.14 දක්වා පහත ගොස් තිබෙනවා. මේ තත්ත්වය ඇතිවුණේ කොහොමද, ඇති වන්නේ කුමන හේතුවක් නිසාද?

“2010 වර්ෂයේ සිට 2012 දක්වා අපි අපගේ වර්ධන වේගය සියයට 8ක් වශයෙන් පවත්වාගෙන ආවා. නමුත් ඒ වර්ධන වේගය අපි ලබා ගත්තේ වාණිජ නොවන අංශවල සංවර්ධනය තුළින්. ඒ ආර්ථික වර්ධන වේගයට ළඟාවීමට බහුල වශයෙන් ඉදිකිරීම් සහ පොදු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු දායකත්වය සැපයුවා. එතැන් පටන් අපේ රටේ ආර්ථික වර්ධනය අඩාළ වීමට පටන් ගත්තා. අපේ ආර්ථික වර්ධන වේගය එතැන් පටන් සියයට 4ක් සියයට 4.5ක් වැනි අංශවලින් දැක්වුණා. කන්න හතරක් හෝ පහක් පැවති නියඟයත් දැඩි ගංවතුර තත්ත්වයත් මෙසේ වර්ධන වේගය අඩුවීමට හේතු වුණා.

“එනම් එවකට සිදුවුණු ආයෝජන සියල්ල සිදු කෙරුණේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකියාව පවතින අංශවලට පරිබාහිරව බව මේ කරුණු සියල්ල අධ්‍යයනය කිරීමේදී වැටහෙනවා. වාණිජ අංශවල සංවර්ධනයට නිසි ආයෝජන ලැබුණේ නම් ඒවායේ ධාරිතාව පුළුල් කිරීමට සහ ඵලදායිතාව ඉහළ දැමීමට හැකියාව ලැබීම හරහා රටේ ආර්ථික වර්ධනය ඉහළ අගයක් බවට පත් කිරීමට තිබුණා. අපේ රටේ අපනයනවල දළ වර්ධන අනුපාතය ගතහොත් එය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් තුනෙන් එකක් පමණයි.

“එහෙත් බංගලාදේශය වැනි ඉහළ ඵලදායිතාවක් සහිත අංශ සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් රටක් ගෙන බැලුවොත් ඔවුන්ගේ අපනයන ඉපයීම් ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 35ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගේ අපනයන ඉපයීම් තුන් ගුණයකින් ඉහළ යෑමට හේතුව වූයේ ඔවුන් නිරන්තරවම වාණිජ අංශ එනම් ඵලදායිතාව අතින් ඉහළ අංශ සංවර්ධනයට පියවර ගැනීමත්, ඒවාට ලැබෙන ආයෝජන ප්‍රමාණය වැඩි කිරීමත් නිසයි. එසේ නම් අපේ රටේ අනාගතය පිළිබඳවත් අපි සැළසුම් සකස් කළ යුත්තේ එම අත්දැකීම් ආදර්ශයට ගැනීම හරහායි.

“පසුගිය කාලයේ සිදු වූ තවත් අවාසි සහගත ක්‍රියාකාරකමක් නම් පසුගිය රජයෙන් ලබාගත් විදේශ ණය මුදල් ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කිරීමයි. 2012 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ සහ පුත්තලම බලාගාර ව්‍යාපෘතිය ආදිය සඳහා රුපියල් ට්‍රිලියන 1.7ක් වැය වුණා. වාසනාවකට මෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව වැඩපිළිවෙලට එළඹීම හරහා හම්බන්තොට වරාය වෙනුවෙන් වූ ණය ආපසු ගෙවීමෙන් නිදහස් වීමට අපට හැකියාව ලැබුණා. මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන්ද එවන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමකට එළඹීමට අපි අපේක්ෂා කරනවා. නමුත් අපට ඒ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියෙන් නිදහස්වීමට ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ. ලබන 2019 වර්ෂය සඳහා අපට ගෙවීමට සිදුවන ඩොලර් බිලියන 12ක මුදලින් හතරෙන් පංගුවක් එනම් ඩොලර් බිලියන 2ක් හෝ 3ක් විදේශීය ණය වශයෙන් ආපසු ගෙවීමට සිදුවෙනවා.

“මෙය අප රට හමුවේ තිබෙන දැවැන්ත අභියෝගයක්. මෙය සැකෙවින් දක්වනවා නම් පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සිදුවුණේ වෙළෙඳ නොවන අංශවල සිදුකළ සංවර්ධනයන් හරහායි. ඒ වර්ධනය ඇති වුණේ අපනයන අංශ ප්‍රවර්ධනය කිරීමෙන් නොවේ. මෙය වෙළඳ හා ගිණුම් ශේෂ පරතරය තවත් පුළුල් වීමට හේතුවක් වුණා. ඒ විතරක් නොවෙයි. රට තව තවත් විදේශ ණය මත යැපීම ඉහළ යාම හරහා සමස්ත රට අගාධයට ඇද වැටුණා. ලෙහෙසියෙන් ගොඩ ඒමක් නැති ආකාරයේ ආර්ථික වර්ධන ගැටලු මතුකිරීමට මෙය හේතුවක් වුණා.

“වඩාත් දරුණු සත්‍යය නම් පසුගිය වසර 10 පුරාවටම විදෙස් ණය ආධාර කොතෙකුත් ලබා ගත්තත් ඒවා රටේ වාණිජ අංශ ප්‍රවර්ධනය කිරීමට හෝ ඒවාට අනුග්‍රහය ලැබෙන ආකාරයෙන් ආයෝජනය වුණේ නැහැ. රටේ ආර්ථික වර්ධනයට පුළුල්ව දායකවීමට හැකි වන ආකාරයෙන් වාණිජ අංශ සංවර්ධනය නොවීම හේතුවෙන් ණය ආපසු ගෙවීම හරහා අපේ ආර්ථිකයට එල්ල වන පීඩනය යම් තරමකට හෝ අවම කිරීමට වාණිජ අංශවල දායකත්වය ලබා ගැනීමට නොහැකි වුණා. ඒ වගේම වාණිජමය නොවන අංශවල ව්‍යාප්තිය තුළින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක කරා ළඟාවීමට නොහැකි වුණා. අපිට අද මුහුණපෑමට සිදුව තිබෙන ප්‍රබලතම අභියෝගය මෙයයි.

“මෙවැනි තත්ත්වයන් හමුවේ තමයි වර්තමාන රජය ගෙනයන වැඩපිළිවෙල දෙස අවධානය යොමු කිරීමට සිදුව තිබෙන්නේ. පළමු කාරණය වන ණය ආපසු ගෙවීම සඳහා ඉහළ ආදායමක් ඉපයිය යුතු වෙනවා. අපි ඉහළ ආදායමක් උපයා ගන්නේ කෙසේද? දැනට ක්‍රියාත්මක වන බදු පැනවීම් අත්තනෝමතික තීරණ නොවෙයි. ඒවා ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුවයි. මොකද ඔවුන් තමයි ඒ බදු ක්‍රමය හඳුන්වා දුන්නේ. මේ ගැන ප්‍රශ්න තිබෙනවා. ඒත් පළමු වසර මේ ආකාරයට ක්‍රියාත්මක වීමට ඉඩ හැර ඉන් පසු අපි සංශෝධනවලට යොමු වෙනවා.

“රටේ වර්තමාන පාලනය නිසැකවම අභියෝගයක් වන බව අපි දැනගෙන හිටියා. මීට පෙර පැවති ආණ්ඩුවෙන් බලය අපි අතට ගනිද්දි මෙවන් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවන බව අපි දැනගෙන හිටියා. නමුත් අපි අතහැරියේ නැහැ. අපි ඇදගෙන වැටුණෙත් නැහැ. මනා ආර්ථික කළමනාකරණයක් සහිතව ඉදිරියට යන්න අපිට 2019 වසර තුළ හැකියාව තිබෙනවා. එහෙනම් මේ අභියෝගය භාරගෙන නොබියව ඉදිරියට යන්න හැකියාව ඇති පෞද්ගලික අංශයක දායකත්වය අපිට මේ සඳහා අවශ්‍යයි. අපේ රටේ අනාගතය සකස් කිරීම අපගේ වගකීමයි. මා ඉදිරියේදී සහභාගිවීමට නියමිත ලෝක ආර්ථික සංසදයේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන මාතෘකාව වන්නේ ආසියානු රටවල ඇති වන සිව්වැනි කාර්මික විප්ලවය පිළිබඳවයි. අපනයන වැඩිකිරීමට නම් සිව්වැනි කාර්මික විප්ලවයකට යා යුතුයි. අපිට ආපසු ගමනක් ගැන හිතන්න බැහැ. අපිට අපේ ගමන ආරම්භ කරන්න තේවලින් සහ ඇඟළුම්වලින් පුළුවන් වුණා. නමුත් අපිට ඒ මතම එල්බගෙන ඉන්න බැහැ.

“නව ගෝලීය ආර්ථිකයට සරිලන ආකාරයට අපගේ ආයතන සහ සමාගම් හැඩගැන්වීමේ අරමුණෙන් අපි වෙළඳ ගැලපුම් ප්‍රතිපත්ති හඳුන්වාදීමට සූදානම්. එම ප්‍රතිපත්තිමය යෝජනාවලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. අපි තව තවත් තරඟකාරි විය යුතු වෙනවා. අපි අපේ අභියෝගවලට මුහුණදීමට දේශපාලනමය ක්‍රමවේදයක් යොදා ගැනීම වැඩදායි වෙනවා.

“මේ ගමනේදී ඉදිරියට යන ඕනෑම කෙනෙකුට අතදීමට අපි සූදානම්. හෙමින් වුවත් නිවැරදි මාවතේ ඉදිරියට යාමයි අවශ්‍ය වන්නේ. මා සිතන්නේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ අනෙකුත් සංවිධාන, විශේෂයෙන්ම වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය මේ අභියෝගය සඳහා එක්වී සිටිනවා. සුරැකී ඉදිරියට යා හැක්කේ මේ අභියෝගයට මුහුණ දීමෙන් පමණයි. ඉදිරි වසර 10 තුළ එළැඹෙන මේ අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් කවුරුන්ද? අප ඉදිරියේ ඇති අභියෝගය එයයි.”

මාතෘකා