ඔවුන් ගැන අපි කණගාටු වෙනවා : විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර

 ඡායාරූපය:

ඔවුන් ගැන අපි කණගාටු වෙනවා : විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර

රටේ සංවර්ධනය වේගවත් වී ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙක හවුලේ ආණ්ඩුව ගෙනයන නිසා බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගියදා (11) ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් පැවසීය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනවාරි 8 වැනිදා මැතිවරණයට ඉදිරිපත් වන විට අපි කාගේවත් සහාය ඔහුට හිමි වූයේ නැහැ. අපි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමටයි උත්සාහ ගත්තේ.

ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමත් සමග අපි හැමෝම එකට ඒකතු වෙලා අලුත් ගමනක් ආරම්භ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙකු පත් කරගන්න අපි අගෝස්තු 17 වැනිදා උත්සාහ කළා.

“සමහරු හවුලේ ආණ්ඩු කරනවාට අපිට බණිනවා. ඒත් අපේ ජනතාවට වැඩක් කරලා දෙන්න පුළුවන්කම ලැබුණේ, ස්වයං රැකියාවකට ආධාරයක් කරන්න ලැබුණේ, අපේ මිනිස්සුන්ට ගෙයක් දොරක් හදාගන්න උදව් කරන්න පුළුවන් වුණේ හවුලේ ආණ්ඩු කරන නිසයි.

හවුලේ ආණ්ඩු කරනවා කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තකට දාලා වැඩ කරන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලන බලයක් නොමැතිව සිටින විට අපේ ජනතාවට වැඩක් කරන්න හයියක් ලැබෙන්නේ නෑ.

ඒත් අපිට අද හයියක් තියෙනවා. අපිට වැඩක් කරන්න ශක්තියක් ලැබී තිබෙනවා. අපි ආණ්ඩුවේ හිටියේ නැතිනම් ඉතිහාසයේ වෙනදා දැකපු දේවල් ආයෙත් දැකගන්න තිබුණා.

“අපේ පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙකට බෙදුණු නිසා පක්ෂය දුර්වල වුණා. පක්ෂය පරාජයට පත් වුණා. එහෙම කළේ කවුද? ජනාධිපතිතුමාද? පක්ෂ මහලේකම්තුමා ඇතුළු අපේ කණ්ඩායමද? බලලෝභී කණ්ඩායමක් තමයි පක්ෂය කඩාගෙන ගියේ.

තමන්ගේ බලය වෙනුවෙන් ඔවුන් පක්ෂය කඩාගෙන එළියට ගියා. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට හූ කියන තත්වයට පත්වෙලා තියෙනවා. තමුන් මේ රටේ බලයට පත් කළ පක්ෂයට ගහරන තත්වයකට පත්වී තිබෙනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා”

මාතෘකා