යහපාලන ආණ්ඩුව අපරාධ පිටුපස නැහැ : රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

 ඡායාරූපය:

යහපාලන ආණ්ඩුව අපරාධ පිටුපස නැහැ : රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

නිසි ක්‍රමවේදයක් නොමැතිව ඉදි කළ පෝට් සිටි, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි පාඩු ලබන ව්‍යාපෘතිවලින් ණය ගෙවාගත නොහැකිව ආණ්ඩුව අරාජිත තත්වයට පත් වූ නිසා පසුගිය ආණ්ඩුවට, වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් පවත්වා ආණ්ඩුව අත්හැර යෑමට සිදු වූ බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා (11) මහනුවර ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් පැවසීය.

“බැංකුවල මුදල් ඉතාමත් ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතුයි. එක්තරා බැංකුවකින් පසුගිය රජය සමයේ පාරවල් හදන්නත් රුපියල් මිලියන 40ක් දීලා තියෙනවා. නමුත් දැන් අපි බැංකු නීතී රීතිවලට අනුකූලව වැඩ කරනවා. මේ වසරේ ණය සහ වාරික වශයෙන් රුපියල් ට්‍රිලියන 3ක් ගෙවිය යුතුයි. පහුගිය කාලේ ණය අරන් හැදුව පෝට් සිටියෙන් ශත 5ක ලාභයක් නෑ. හම්බන්තොට වරායෙන්, මත්තල ගුවන්තොටුපළෙන් ආදායමක් නැහැ. මේ ණය ගෙවන එක ලේසි නැහැ. මැතිවරණයට වසර දෙකක් තියෙද්දි පහුගිය ආණ්ඩුව අත්හැරලා ගියේ කරන්න බැරි නිසා. ආර්ථීකය නිවැරදිව මෙහෙයවාගන්න බැරි වුණ නිසා. 2015 අපේ රට තිබුණේ ජාත්‍යන්තර ආර්ථීක සම්බාධක අබියසයි.

“ඒ අයම දැන් බලය ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. නමුත් ආණ්ඩුව පෙරළන්න ආව අය අන්තිමේ වෙරි වෙලා බිම පෙරළි පෙරළි හිටියා. මොකක්ද මේ අයගේ රට හදන සැලැස්ම? කිසිම සැලැස්මක් නැහැ. අද රටේ පැහැරගැනීම් නැහැ. අතුරුදහන් කිරීම්, මාධ්‍යවේදීන් ඝාතන, විනිසුරුවරුන් බලෙන් ධුරවලින් පහකිරීම් නැහැ. යහපාලන ආණ්ඩුව අපරාධ පිටුපස නැහැ. අද තියෙන්නේ ශීලාචාර ආණ්ඩුවක්.

“අධිකරණය, පොලිසිය අද ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ නිර්දේශයක් වුණත් බාර නොගෙන සිටීමේ හැකියාව ආයතනවලට තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අද ආදර්ශයක් ලෙස අපේ රට පිළිඅරන් තියෙනවා. ඒ නිසා මානව හිමිකම් සමුළුවේදී අපේ රට වෙනුවෙන් දින 2ක් වෙන් කළාට අද වෙන් කරන්නේ පැය දෙකයි.”

මාතෘකා