ජාවාරම්කාරයන්ට ඕන විදිහට වැඩ කරන්න දෙන්නේ නැහැ ජනපති කියයි

 ඡායාරූපය:

ජාවාරම්කාරයන්ට ඕන විදිහට වැඩ කරන්න දෙන්නේ නැහැ ජනපති කියයි

ගිං - නිල්වලා ව්‍යාපෘතියේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ මේ වන විට සිදුවන පරීක්ෂණවල පවතින දැඩි ප්‍රමාදය සහ මන්දගාමී තත්ත්වය සැලකිල්ලට ගනිමින් වත්මන් රජය යටතේද නැවත පරීක්ෂණයක් ආරම්භ කර වරදකරුවන්ට දඬුවම් දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් පැවසීය.

රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසීය.

“අප රට පුරා ආරම්භ කර ඇති පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව දැනුම්වත් කිරීමට එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා. පුරන් කුඹුරු පිළිබඳව අපේ රටේ ගොවි ජනතාවට තිබෙන්නේ දීර්ඝ කාලීන අත්දැකීමක්. ඒ වගේමයි කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටත් විශාල අත්දැකීම් තිබෙනවා.

" රටේ විවිධ ක්ෂේත්‍රවල වාර්ෂික සංවර්ධන ඉලක්ක, සංවර්ධන සැලසුම් ගත් විට සම්පූර්ණ කිරීමට අපහසුවන කරුණු කිහිපයක් තිබෙනවා. ඒ කරුණු අපට පමණක් නෙවෙයි, ලෝකයේ සියලුම රටවලට අදාළයි. ජාතික සැලසුම්වලට අපි වාර්ෂිකව මුදල් වෙන් කරනවා. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවලට ජාතික සැලසුම් හදනවා. සෞඛ්‍ය, අධ්‍යාපන සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සැලසුම් බොහෝ විට අපේක්ෂිත ඉලක්ක කරා යන්නේ නැහැ. එම සැලසුම් ඉදිරියට නොයන්න සෑම රටකටම අපේක්ෂා නොකළ සිදුවීම් වෙනවා. ඒ තමයි ස්වභාව ධර්මයාගෙන් ඇති වන අභියෝග.

"අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවට 2019 වසරට රුපියල් කෝටි 5000ක් වෙන් කළා. බෙහෙත්වලට මෙච්චරයි, යන්ත්‍ර සූත්‍රවලට මෙච්චරයි, ගොඩනැගිලිවලට මෙච්චරයි, පරිපාලන වියදම්වලට මෙච්චරයි කියලා වෙන් කරනවා. නමුත් අපේක්ෂා නොකළ ලෙසට ලෙඩ රෝග මතුවෙනවා. ඩෙංගු, වසංගත, ගංවතුර හානි තුළ ඇති වන ලෙඩ වෙන්න පුළුවන්, නියඟය නිසා ඇති වන තත්ත්වයන් වෙන්න පුළුවන්. එතනදී වාර්ෂික සෞඛ්‍ය සැලසුම් වෙනස් වෙනවා. කෘෂිකර්මාන්තයත් එහෙමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සැලසුම් හදනවා. මුදල් අමාත්‍යාංශයෙන් මුදල් දෙනවා. නමුත් මුදල් මෙච්චරයි මේ වසරට, මෙන්න සැලසුම්, මෙන්න නිෂ්පාදන ඉලක්ක කියලා අපේක්ෂිත ඉලක්ක ළඟා කරගන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් බලාපොරොත්තු නොවන විදියට නියඟයක් එනවා. එවිට ඔක්කොම ඉවරයි. බලාපොරොත්තු නොවන විදියට ගංවතුරක් එනවා. එවිටත් ඔක්කොම ඉවරයි.

"ඒ නිසා සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තය කියන්නේ ලෝකයේ ඕනෑම රටක ස්වභාව ධර්මයාගේ හැසිරීමත් එක්ක වෙනස් වන දෙයක්.

"පුරන් කුඹුරු ඇති වෙන්නේ කුමන කාරණයක් නිසාද කියා සිතා බැලුවොත් ඒවා ඇති වන කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි අතිවිශාල වශයෙන් ඉඩම් තිබෙන අය වෙනත් ආර්ථීක ශක්තීන් ඇති විට කුඹුරු අත්හැර දැමීම සිදුකරනවා. ඔවුන් සිතනවා තමන්ගේ අනෙක් ව්‍යාපාර දියුණු කර ගන්න එක හොඳයි මේ සඳහා කාලය ගත කරන්න ඕන නැහැ කියලා. මෙයින් පොඩි ආදායමක් තිබෙන්නේ කියා සිතනවා. ඒ එක කාරණයක්. අඩු ආදායම්ලාභී සාමාන්‍ය ගොවි ජනතාවට තිබෙන ඉඩම්වලින් කාලගුණික සහ දේශගුණික බලපෑම් නිසා කුඹුරු වැඩ කරගන්න බැරිව අත්හරිනවා. ඒවා පුරන් කුඹුරු වෙනවා.

"ජාතික සංවර්ධන ව්‍යාපෘති සෑදීමේදී නිසි පරිදි ශක්‍යතා අධ්‍යයනයන් නොමැතිව කිරීම නිසා ඇතැම් වෙලාවට කුඹුරු ගොඩවෙනවා. ජල මාර්ග හරස් වී කුඹුරු වැඩ කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය නොමැති වීමෙන් කුඹුරු පුරන් වෙනවා. මෙවැනි කරුණු ගණනාවක් කුඹුරු පුරන් වීමට හේතු වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පුරන් කුඹුරු තිබෙනවා නම් ඔය කරුණු තුනටම ඇතුළත් කුඹුරු ඇති. ලංකාවේ පුරන් කුඹුරු වැඩිම පළාත බස්නාහිර පළාත. මම කෘෂිකර්ම ඇමතිවරයා විදියට අවුරුදු හයක් සිටි නිසා මම දන්නවා. මේ පිළිබඳව මට අත්දැකීම් තිබෙනවා. පසුගිය අවුරුදු කිහිපයේදී පිටරටින් සහල් ගෙන්වන්න සිදු වුණා නියඟය නිසා. පසුගිය මාස හත, අටේ ගෙන්නුවේ නැහැ.

"ඇමතිතුමා පිටරටින් ගෙන්වන ආහාර ලැයිස්තුවක් සඳහන් කළා. දොඩම්, බඩ ඉරිඟු, මිරිස්, කජු වැනි දේවල් සඳහා යන වියදමත් සඳහන් කළා. මේවා ගේන්න අවසර දෙන්නේ කවුද? අවසර දෙන අයත් මෙතන ඉන්නවානේ. කජු ගේන්න කවුද අවසර දෙන්නේ? බඩ ඉරිඟු ගෙන්වීමට කවුද අවසර දෙන්නේ? දොඩම් ගේන්න කවුද අවසර දෙන්නේ? ඒ සඳහා අත්සන් කරන මහත්වරු මෙහි සිටිනවා. අපි ලැයිස්තුවක් කියනවා මේවා ගේනවා කියලා. එක එක ජාවාරම්කාර මුදලාලිලාට ඕන විදියට ජාවාරම්කරුවන් එක්ක හවුල් වී සිටින දේශපාලනඥයින්ට ඕන විදියට, මේවා ගේන්න දෙන්න එපා. ඇමතිතුමා සඳහන් කළා අවුරුද්දකට රු. කෝටි 96 ක වැඩිය වටිනාකමක දොඩම් ගේනවා කියාල. තමුන්නාන්සේලා අත්සන් නොකර හිටියා නම් හරි පිටරටින් ගෙන්වන දේවල්වලට.

"මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද? බඩඉරිඟු මේ රටට ගෙන්වීම පිළිබඳව ප්‍රතිපත්තියක් ලෙස මම හැමදාම විරුද්ධයි. මම මහවැලි ඇමතිවරයා විදියට අවුරුදු 16 ක් වැඩ කරලා තිඛෙනවා. ලංකාවේ මහවැලි ඇමතිවරයා විදියට වැඩිම කාලයක් වැඩ කර තිබෙන්නේ මම. කෘෂිකර්ම ඇමතිවරයා විදියට අවුරුදු හයක් සිටියා. මේ ක්ෂේත්‍ර පිළිබඳව දන්න නිසයි මම කියන්නේ. මේ රටේ වගා කිරීමට හැකි දේවල් එක එක ජාවාරම්කාරයින්ට ඕන විදියට පාරිභෝගිකයාගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ඉස්සරහට දාලා ගෙන්වන එක නතර කළ යුතුයි. මේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන සාර්ථක කරන්න තමුන්නාන්සේලාගේ සහයෝගය ලබා දෙන්න.

" ගිං - නිල්වලා ව්‍යාපාරය ගැන ගොවි මහත්වරු මට සංදේශයකුත් භාරදුන්නා. ගිං - නිල්වලා ව්‍යාපාරය ගැන පසුගිය ආණ්ඩුවේදී සිදු වූ සිද්ධීන් ඔබ සියලු දෙනා දන්නවා. ඒ පිළිබඳව වෙනම පරීක්ෂණත් පවත්වනවා. මේ ආණ්ඩුවෙනුත් ගිං - නිල්වලා ගැන නැවත පරීක්ෂණයක් කරන්න වෙයි කියා මට හිතෙනවා, ඇයි මේ ප්‍රමාදය? මම ඒ කාරණයත් දන්නවා. ඒ නිසා ගිං - නිල්වලා ව්‍යාපෘතියේ වගකීම තිබෙන අය කවුරුන් හෝ වේවා තමන්ගේ දේශපාලන වටිනාකම් පරිස්සම් කරගෙන කටයුතු කරන්න. මෙහි කැබිනට් පත්‍රය මාස තුනක් ප්‍රමාද වුණා. ඒ ඇයි කියාත් මම දන්නවා. ඉතිරි ටික මගෙන් රටට ප්‍රකාශ කරගන්නේ නැතුව එම කටයුත්ත කරන්න කියා මම ඔවුන්ට ප්‍රසිද්ධියේම කියනවා.

"විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට සේවයක් වන එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පරිවර්තනයකට ලක්වන ගිං - නිල්වලා ව්‍යාපාරය සාර්ථක කරගැනීම ඉතාමත් අවශ්‍යයි”යැයි ජනාධිපතිවරයා පැවසීය.

මාතෘකා