විහාරස්ථාන නැංවීම බිම් මට්ටමින් ආරම්භ කරනවා අගමැති කියයි

 ඡායාරූපය:

විහාරස්ථාන නැංවීම බිම් මට්ටමින් ආරම්භ කරනවා අගමැති කියයි

යහපාලන රජය මගින් බුදු දහමට ප්‍රමුඛස්ථානය දී ශාසනය ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිඥා දී ඇති බවත් ශාසනාරක්ෂක මණ්ඩලය සමඟ බිම් මට්මමෙන් විහාරස්ථාන සමඟ සම්බන්ධවී ඉදිරියේදී බෞද්ධ විහාරස්ථාන දියුණු කිරීමේ වැඩසටහනතක් ජනාධිපතිවරයා සමඟ එකතු වී ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (08) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික්කයේ විහාස්ථාන සඳහා අවශ්‍ය කාර්යාලීය උපකරණ ලබාදීමේ උත්සවයට සහභාගි වෙමින් පැවසීය.

“අද අපි මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩල සඳහා උපකරණ ලබාදීම සිදුකරනවා. ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල අවශ්‍යතා සහ දැනට පවතින අපහසුතා පිළිබඳව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ පැවසුවා. වර්තමාන තත්වයන් පිළිබඳව සලකා බැලීමේදී අප එම අවශ්‍යතා ඉටුකර දිය යුතුයි. ශාසනාරක්‍ෂක බල මණ්ඩල අරම්භ වූ කාලයට වඩා විශාල වැඩකොටසක් අද ඒ හරහා ඉටුකිරීමට තිබෙනවා.

විහාරස්ථාන ප්‍රමාණය වැඩි වන විට යම් පරිපාලන වැඩකටයුත්තක් සිදු කළ යුතුයි. ඊට සහයෝගය ලබාදීමක් වශයෙන් ශාසනාරක්‍ෂක බල මණ්ඩලවලට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාදීම අද සිදු කරනවා. මේ වැඩකටයුතු හරහා දිස්ත්‍රික්කයේ විහාරස්ථාන අතර ඇති සම්බන්ධතාවය තවත් වැඩි වෙනවා.

රටේ බුදු දහමට ප්‍රමුඛස්ථානය දීමටත්, ශාසනය ආරක්‍ෂා කිරීමටත් අපි ව්‍යවස්ථාවෙන් ප්‍රතිඥා දී තිබෙනවා. රජයත්, ශාසනයත් අතර සම්බන්ධතාව ඇති කරන යාන්ත්‍රණය වන්නේ ශාසනාරක්‍ෂක මණ්ඩලයයි. ඒ හරහා සියලුම බිම් මට්ටමේ විහාරස්ථාන සමඟ සම්බන්ධවීමට අපට හැකියාව ලැබෙනවා.

ඔබ වහන්සේලගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ජනාධිපතිතුමාත්, මමත් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීමටත් මම බලාපොරොත්තු වෙනවා. මහනුවරට පැමිණි සෑම අවස්ථාවකම ඔබ වහන්සේලා මුණගැසී රටේ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.

කාලය අනුව ඇතැම් විපර්යාස සිදුවීම බුදුන් වහන්සේගේ ධර්මයේ කොටසක්. ඒ අනුව අපේ ජීවිතත් සකස් විය යුතුයි. මීට සති දෙකකට පමණ පෙර සම්මන්ත්‍රණයක් සඳහා මම වියට්නාමයට ගියා. එහිදි මට පොතක් කියවීමට අවස්ථාව ලැබුණා. වියට්නාමය රාජ්‍යක් ලෙස ගොඩනැගුවේ කෙසේ දැයි යන ආකාරය එම පොතේ සඳහන් වී තිබුණා. යුනාන් අධිරාජ්‍ය ආරම්භ වී තිබෙන්නේ ඉන්දියාවේ බ්‍රාහ්මණ කුමාරයෙක් සහ රාජ කුමාරිකාවක් විවාහ වීමත් සමඟයි. එම ප්‍රදේශයේ හින්දු ආගම පමණක් නොව බුදුදහමත් ව්‍යාප්ත වී තිබුණා.

බුදුන් වහන්සේගේ ධර්මය උතුරු ඉන්දියාවෙන්, දකුණු ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් වියට්නාමයට ලැබුණු බව එහි සදහන් වී තිබුණා. නමුත් මුස්ලිම් ආක්‍රමණයෙන් පසු උතුරු ඉන්දියානු සම්බන්ධතා නැති වී ගොස් තිබෙනවා. දකුණු ඉන්දියාවේ සාංචිපුරම් හි මහාවිහාර බුදුදහමත් ශ්‍රී ලංකාවේ දිඹුලාගලින් සංක්‍රමණය වූ සංඝයා වහන්සේලා නිසාත් නැවතත් බුදුදහම එම රට තුළ ව්‍යාප්ත වී තිබෙනවා.

ඒ වගේම එම අධිරාජ්‍යයට පැමිණි විශාලතම වෙළඳ නැව් ශ්‍රී ලංකාවේ ඒවා බවත් සඳහන් වී තිබුණා. ශ්‍රී ලංකාව සහ චීනය අතර විශාල වෙළඳ නැව් ප්‍රවාහනය වී තිබෙනවා. අද අපට තිබෙන්නේ පොඩි නැව් පමණයි. නමුත් ඒ කාලයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ගමන් කරන ලංකාවේ විශාල වෙළඳ නැව් වියට්නාමයේදී අවශ්‍ය පහසුකම් ලබාගන්නවා. මෙවැනි විශාල වෙළඳ රටාවක් එකල තිබුණා. එම සටහන් කියවන විට මට අවබෝධ වුණේ එම විශාල වෙළඳ රටාවේ මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකාවේ බෞද්ධ වෙළඳුන් බවයි. එය අපේ අතීතයේ කොටසක්. අප අනුරාධපුර, පොළොන්නරු යුග පිළිබඳව කතා කරනවා. නුවර රාජධානි කාලයේදී උපසම්පදාව නැවත ආරම්භ කිරීම පිළිබඳවත් අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. නමුත් මේ සියලු දේ හරහා අපි සඳහන් නොකරන දෙය නම් ශ්‍රී ලංකාව හරහා ලෝකයේ කොටසකට බුදු දහම ලැබී ස්ථාවර වී තිබෙනවා යන කාරණයයි.

මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය ආදී සියලුම රටවල තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මහා විහාරික බුදු දහමයි. මම ලාඕසයේ සංචාරය කළ අවස්ථාවක "සිංහල විහාරය" නම් විහාරයක් නැරඹිමට ගියා. මහාවිහාරික භික්ෂූන් වහන්සේලා පළමුවෙන් පැමිණ තිබෙන්නේත් එම ස්ථානයටයි.

වැලිවිට සංඝරාජයන් වහන්සේ ශ්‍රී ලංකාවට උපසම්පදාව නැවත රැගෙන ආ අතර ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් බොහෝ රටවලට සංක්‍රමණය වුනේ උපසම්පදා භික්‍ෂුන් වහන්සේලායි. මෙම කරුණු අපි අපේ ඉතිහාස පොත්වලටත් ඇතුළත් කළ යුතුයි. වියට්නාමයේ පොතකින් මම මේ කරුණු දැන ගැනීම හරහා පෙනී යන්නේ ඒ සියලුම රටවල්වල ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන්ව තිබීමයි. නමුත් අපේ බොහොමයක් අය ඒ කරුණු පිළිබඳව දන්නේ නැහැ. ඉදිරියේදී මේ පිළිබඳව කතිකාවක් ආරම්භ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සංස්කෘතික අමාත්‍යතුමාටත්, සංස්කෘතික ත්‍රිකෝණ පදනමටත් මම දැනුම් දෙනවා. මේ උත්සවයට ආරධනා කිරීම පිළිබඳව මාගේ ස්තුතිය අවසාන වශයෙන් ඔබ සියලෙු දෙනාට පුද කර සිටිනවා”

මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, මහනුවර දිසාපති එච්.එම්. හිටිසේකර යන මහත්වරුන් හා අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේ, මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල ස්වාමීන් වහන්සේලා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගී වී සිටියහ.

මාතෘකා