අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන්නටම තිබෙනවා : ඇමැති මහින්ද අමරවීර

 ඡායාරූපය:

අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන්නටම තිබෙනවා : ඇමැති මහින්ද අමරවීර

අද සමහරු මිල වැඩියි කියලා කෑගහන හැම භාණ්ඩයකම මිල 2014ට වඩා අඩුයි. සමහර නාලිකාවල පුවත්පත් සිරස්තල ඉදිරිපත් කරනකොට හිතෙන්නේ මේ රට හරියට විශාලා මහනුවරක් වගේ කියල'' යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (01) ඇඹිලිපිටිය, කෝන්කටුව උඩවෙල මහවැවේ ප්‍රතිසංවර්ධන කටයුතු අරඹමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“මිල වැඩියි කියලා කියන හැම භාණ්ඩයකම මිල 2014ට වඩා අඩුයි. පෙට්‍රල්, ඩීසල් මිල අවස්ථා කිහිපයකදී වැඩි වුණත් 2014ට වඩා තවමත් අඩුයි. ගෑස් මිලත් එහෙමයි. පරිප්පු, පොල්, ලූනු වගේ ආහාර ද්‍රව්‍ය සියල්ලම ගත්තත් 2014ට වඩා මිල අඩුයි.

දැන් ඔය ඉහළ ගියා කියන පුංචි කාර් ගත්තත් තවමත් 2014ට වඩා අඩුයි. එතකොට වැඩි වෙලා තියෙන්නේ මොනවාද? දත් බෙහෙත්, සබන්, සුවඳ විලවුන් වගේ දේවල්වල නම් මිල වැඩි වෙලා තියෙනවා. ඉතිං මේ අය උදේ ඉඳන් රෑ වෙනකම් කෑ ගහන්නේ රට ඉවරයි, ආර්ථිකය වැටිලා, රුපියල බාල්දු වෙලා කියලා. දැන් ඉන්දීය රුපියලත් බාල්දු වෙලා.

මුදලේ අගය අවප්‍රමාණය වීම අපේ රටට පොදු වෙච්චි දෙයක් නොවෙයි. ලෝකයේ හැම රටක්ම අද ඒ අර්බුදයට මුහුණ දීලා තියෙනවා. අපි දන්නවා කන්න පහක් අපේ රටේ කුඹුරු වගා කළේ නෑ. හැබැයි එක මිනිහෙක්වත් අපි බඩගින්නේ තිබ්බේ නැහැ.

ගොවීන්ට සහනාධාර ලබා දීමට රජය ඉතිහාසයේ වැඩිම මුදල වශයෙන් රුපියල් මිලියන. 38,000ක් පසුගිය වසර දෙක තුළ වැය කරලා තියෙනවා. ගොවියෙකුගේ පුතෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ රටේ ජනාධිපතිවරයා වෙච්ච නිසා තමයි අපිට ඒ දේවල් කරන්න පුළුවන් වුණේ.

මේ ආණ්ඩුව උද්ඝෝෂණය කරනවා කියලා මිනිස්සු මරන්නේ නැහැ. ඒ අයට හිංසා පීඩා කරන්නේ නැහැ. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන්නටම තියෙනවා”

මාතෘකා